Friday, July 2, 2021

අනුරාධපුර මහා විහාරය

කතෘ: මහාචාර්ය ටී.ජී. කුලතුංග 
ප්‍රකාශක: සරසවි 2018


මහා විහාරය පිළිබඳව දැනට එකතු වී ඇති දැනුම ඇතුලත් සවිස්තරාත්මක ලියවිල්ලකි.  ඉතිහාසය ගැන උනන්දුවක් ඇත්තන්ට කියවිය යුතුම පොතක් ලෙස නිර්දේශ කරමි.


පොතෙහි ඇති කරුණු මත පදනම් වී සංක්ෂිප්ත ඓතිහාසික ආකෘතියක් මවා පෑම මගේ මේ සටහනෙහි අරමුණයි.


මිහිඳු හිමියන් ඇතුළු දූත පිරිස ලක්දිවට සැපත් වූ කල් හී නුවර දකුණු දොරටුවෙන් පිට පිහිටි නන්දන උයනෙහි දෙවානම්පියතිස්ස රජු විසින් එම දූත පිරිසට නවාතැන් සඳහා ආරාමයක් කර වීය.  දකුණු දොරටුවට නුදුරුව පිහිටි වෙළඳ සැල් නිසා මැදියම් රෑ වන තුරු ජනාකීර්ණ, ඝෝෂාකාරී වාතාවරනයකින් යුතු මෙම ප්‍රදේශය මිහිඳු හිමියන්ට නුසුදුසු විය.  මිහිඳු හිමියන් මිහින්තලේ තම ආවාසය ලෙස තොරා ගත් කල රජතුමා කරුණු විමසා නැවත නුවර ආසන්නයේ නන්දන උයනට දකුණින් පිහිටි මහමෙව්නා උයන මිහිඳු හිමියන්ගේ කැමැත්ත පරිදි ආවාසයක් සඳහා පූජා කරණ ලදි.   සමගම දකුණු දොරටුවෙහි වූ කලබලකාරී බව සමනය කිරීමට කටයුතු කරන ලදැයි සිතිය හැක්කේ නන්දන උයනෙහි පිහිට වූ තිස්සාරාමය අත් නොහල බැවිනි.


මිහිඳු හිමියන් මහමෙව්නා උයනෙහි මහා විහාරය ස්ථාපිත කිරීම සඳහා සැලසුම් සකස් කලේය. මේ අනුව සංඝමිත්තා තෙරුන් රැගෙන ආ ශ්‍රී මහා බෝධිය මහමෙව්නාවේ දකුණින් පිහිට වූ අතර එතැන් සිට උතුරු දිශාවට ගමන් කිරීමේදී පළමුව වමෙන් ලහබත්ගෙයද, දකුණින් පොහොය ගෙය ද, පිහිටු වීම සඳහා සැලසුම් කලේය.  තවත් ඉදිරියට ගමන් කල විට වමෙන් මහාසෑය පිහිටුවන ස්ථානයද, ඊට දකුණින් දාන ශාලාව හා ඊටත් දකුණින් සන්නිපාත ශාලාව පිහිටුවන ස්ථාන තීරණය කලෝය.  ශ්‍රී මහා බෝධියට දකුණින් සැලසුම් කල එකම ගොඩනැගිල්ල කම්මාලකයයි.


දෙවානම්පියතිස්ස රජු මිය යන්නට පෙර මෙම ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම පිහිටු වීමට නොහැකි විය.  දුටුගැමුණු රජතුමාගේ කාලය වනතුරු රටෙහි පැවති අස්ථාවර තත්වය නිසා මහාවිහාරයෙහි ගොඩනැගිලි ස්ථාපිත කිරීම කල් ගියේය.  නමුත් මිහිඳු හිමියන් විසින් කල සැලසුම් රැකී පැවති බැවින් දුටුගැමුණු රජතුමාට මෙම සැලසුම් ක්‍රියාවට නැංවීම නැවත ආරම්භ කිරීමට හැකි විය.


මහාථූපය සෑදූ පසු දිස්වූ ආකාරය


මහා විහාර ගොඩනැගිලි සංකීර්ණය නිමවා අවසන් කල විට එහි ප්‍රධාන ගොඩනැගිලි 7 ක් විය. මේ හතත් තිස්සාරාමයත් (ථූපාරාමය)  "අටමස්ථාන" නමින් හැඳින්වින.  ඒවා නම්:

1. තිස්සාරාමය

2. ශ්‍රී මහා බෝධිස්ථානය

3. කම්මාලකය

4. ජන්තාඝරය (ගිණිහල් පොකුණ)

5. පොහොය ගෙය (ලෝවාමහාපාය)

6. ලහබත්ගෙය

7. දාන ශාලාව

8. මහාථූපය (රුවන්මලිසෑය)


(ලඤ්ජිතිස්ස රජුගේ කාලයේදී කකුධවාපි (කුඹුක් වැව) ගොඩ කරවන ලදි.)


මහා විහාර භූමියට පිටතින් තිබූ තිස්සාරාමය මෙහෙණින් වහන්සේලා වැඩ සිටි ආරමය විය. තිස්සාරාමය තුලත් ශ්‍රී මහා බෝධියේ මුල් ශාඛාවක් සහිත බෝධි ඝරයක්, කම්මාලකයක්, දාන ශාලාවක් වැනි විහාරයකට තිබිය යුතු ගොඩනැගිලි විය.


මහා විහාරික තෙරුන්ගේ සිල්වත් කම් ගැන මහජනයා සෙවිල්ලෙන් සිටි බව පෙනේ.  භාවනා වඩන තෙරුන් හට මහජනයා විශේෂ සැලකිල්ලක් දැක් වූහ.  මේ නිසාම විහාරවාසී තෙරුන්හට භාවනා කිරීම සඳහා පධානඝර පසුව මහා විහාරය තුල ඉදිවිය.  භාවනායෝහී තෙරුන් හට වූ සැලකිල්ල කෙතරම් ද යත් එවන් තෙරුන්වහන්සේ නමකගේ සිත් රිදෙන අයුරින් ක්‍රියා කල තෙවෙනි උදය රජතුමාට එරෙහිව මහජනයා නැගී සිටියහ.  මේ නිසා එම තෙරුන්ගෙන් සමාව ඇයැද සිටීමට රජුට සිදුවිය.


මහාවිහාර වාසී තෙරුන් මහාවංශික තෙරුන් ලෙස හැඳින්වෙන්නට පටන් ගති.


අටුවා හෝ අට්ථකථා යනු ත්‍රිපිටකයේ ඇති ගැඹුරු පද වලට දෙන අර්ථ විවරණයි.  මිහිඳු හිමියන් ගෙනා අටුවා මහා විහාරික භික්ෂූන් හෙලයට හැරවූහ.  එම අටුවා තවත් පැහැදිලි කිරීම සඳහා උපමා ලෙස එකල පැවති ජනකථා හා කාලීන ප්‍රවෘති අටුවා වලට එක් කිරීමට මහා වංශික තෙරුන් කටයුතු කලෝය. අවාසනාවකට මෙන් බුද්ධඝෝෂ හිමියන් ප්‍රධානත්වයෙන් කල මෙම අටුවා පාලියට හැරවීමේදී මෙම කාලීන ප්‍රවෘති ඉවත් කොට ඇත. 


මහාවංශය ලියූ මහානාම හිමියන්ද සීහලට්ථකථා ඉවත්කර ඇත.  කාම්භෝජයේ ඇති මොග්ගල්ලාන මහාවංශයේ මහාවංශය මෙන් දෙගුණයක් ගාථා ඇත.  


මෙම පොතෙහි ඇති පරිච්චේද පසු සඳහන් වේ.

1. මහා විහාරයෙහි භෞතික පිහිටීම

2. මහා විහාරය මූලස්ථානය කර ගෙන බුදුසසුන පිහිටුවීම

3. ක්‍රි.ව. 18-19 සියවස් වලදී මහාවිහාරයේ ඉතිහාසය

4.  ශ්‍රී මහා බෝධිය

5. රුවන්මැලිසෑය

6. මහා විහාරයේ පොහොය ගෙය—ලෝවාමහාපාය

7. චත්තුස්සාලාව (දාන ශාලාව) හා ලහබත් ගේ

8. මහා විහාරයේ ජන්තාඝර, රෝහල්, වැසිකිළි, කැසිකිළි හා පොකුණු

9. මහා විහාරයේ පධානඝර

10. ථුපාරාමය

11. මහා විහාරයේ සාහිත්‍ය ප්‍රබෝධය

12. මහා විහාර සෙල්ලිපි

13. මහා විහාරයේ ප්‍රතිමා හා කලා කෘති


ලහබත්ගෙය හි ආරම්භය බුදුන්වහන්සේගේ කාලයේ වූ සිදු වීමකි.  එකල් හී මහණුන් ධනපතියන් දෙන ප්‍රණීත දාන පමණක් වැලඳීමට පුරුදු වී දුප්පතුන් දෙන දාන පිලිනොගෙන සිටියහ. මේ බව දැනගත් බුදුන්වහන්සේ සලාක ක්‍රමයක් හඳුන්වා දුන්හ. ඒ අනුව සෑම මහණෙක් හටම තමන්ට ලැබුණු සලාකයට අනුව දුප්පතුන්ගේ දාන පිලිගැනීමට සිදු විය.  මේ සලාක දෙන ස්ථානය ලහබත්ගෙය විය.


මම මේ වටිනා පොත වෙනත් පොත් කියවීමේ දී ඇසුරු කලයුතු පොතක් ලෙස තබාගැණීමට අදහස් කරමි.

5 comments:

  1. කාම්භෝජයේ ඇති මොග්ගල්ලාන මහාවංශයේ මහාවංශය මෙන් දෙගුණයක් ගාථා ඇත

    Any English translation

    ReplyDelete
  2. I think it is the Extended Mahavamsa

    https://www.bps.lk/bookshop-search.php?styp=l&d=02061053

    ReplyDelete
    Replies
    1. You are right. Malalasekera translated the Kamboja Mahawansa. It is published by Oxford University Press. It is available at Abe books for $57.00+postage+tax.

      Delete