Friday, June 11, 2021

The Third Transformation

කතෘ: Matt Bondurant
ප්‍රකාශක: Hyperion, New York 2005


මෙම කතෘ හට නිර්මාණාත්මක ලිවීම සම්බන්ධව ආචාර්ය උපාධියක් (Ph. D) ඇත. ඔහු විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු හැටියටද සේවය කොට ඇත. එබැවින් පොත පුරාවටම ඔහුට ඇති නිර්මාණාත්මක ලිවීමෙහි දක්ෂතාවය පිළිඹිබු වේ. ඔහුගේ රචනා ශෛල්‍යය සුනිල් යාපාගේ රචනා ශෛල්‍යයට බෙහෙවින් සමානය. “Your heart is a muscle the size of a fist” නම් පොත ලියූ සුනිල් යාපාට නිර්මාණාත්මක ලිවීම සඳහා Master of Fine Arts (MFA) උපාධියක් තිබේ. එහෙත් ඔවුන් දෙදෙනාගේ සසැඳීම එතකින් හමාර වේ. මෙම පොත නවකථාවක් ලෙස අසාර්ථකය. එහෙත් Matt ගේ නිර්මණාත්මක ලියැවීමත්, ඔහු ලබා ඇති විද්වත් පසුබිම තුලින් කෙරෙන නිරීක්ෂණය කිරීම් නිසාත් පොත කියැවීමට අපහසු වූයේ නැත.


Egyptologist කෙනෙක් වන වොල්ටර් රොත්ස්චයිල්ඩ් (Walter Rothschild) හට ලන්ඩනයෙහි තිබෙන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති අවුරුදු 3000 ක් පමණ පැරණි Stela of Paser නැමැති හරස්පද ප්රහේලිකාව (crossword puzzle) විසඳීමට සීමිත කාල කොන්ත්‍රාත්තුව ලැබේ. වෝල්ටර් කැලිෆෝර්නියාවේ සිටින තම බිරිඳ හා දියනිය අතහැර දීර්ඝ කාලයක් ඊජිප්තුවේත් වෙනත් රටවලත් පැරණි ඊජිප්තු ලියවීම් පරිවර්තනය කිරීම සඳහා තම මුළු කාලය කැප කල කෙනෙකි. මේ අතර ඔහුගේ මිතුරු භොතික විද්‍යාඥයෙකු වන ඇලන් හෙන්රි ඔහුගේ අළුත් මිතුරෙක් හමුවීම සඳහා එක් රාත්‍රියක වෝල්ටර්ව පබ් එකකට කැඳවා ගෙන යයි. එහිදී හමුවන රූමත් තරුණියක් වෝල්ටර්ගේ පර්යේශණ ගැන උනන්දුවක් දක්වයි. ඇයගේ ඉල්ලීම මත වෝල්ටර් ඇයව බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ Stela of Paser තබා තිබෙන පහළම මාලයට එදින රාත්‍රියේ ඇය ගෙන යයි. පසුදා උදෑසන තෙක් කෞතුකාගාරයේ "ගත කල" ඔවුහු පසුදා උදෑසන අන් සේවකයන් එන්නට පෙර පිට වේ. මෙහිදී ඇය ඉතා ඉක්මණින් කුලී රියක නැගී පිටවී යයි. වෝල්ටර් ඇය කවුද, ඇය සිටින්නේ කොහිද යන්න නොදනී. ඉන් දවසකට පසු වෝල්ටර් කැඳවූ ඔහුගේ අධීක්ෂකවරයා ඔහු කෞතුකාගාරයේ නීති වලට පට හැනිව තරුණියක් කෞතුකාගාරයට ගෙන බව දන්නා බව හඟවයි. ඊට අමතරව කෞතුකාගාරයේ තිබූ මිල කල නොහැකි පෞරාණික ලියවිල්ලක් අතුරුදහන් වී ඇති බව ඔහුට දන්වයි. එම ලියවිල්ල නැවත කෞතුකාගාරයට ගෙන ඒමට ඔහුට දින තුනක කාලයක් ලැබේ. ලියවිල්ල සොයා ගැණීමට නොහැකි වුව හොත් ඔහුගේ කීර්තිය සදහටම පළුදු විය හැකි අතර සෑහෙන කාලයකට හිරේ යන්නටද සිදු වනු ඇත.


ලංකාවේදී හාමුදුරුවරු එකම ගාථාව තුන්වරක් කියනු මා අසා තිබේ. ඊට අමතරව පන්සිල් ගැනීමට පෙර හැමෝම තුන් වරක් තුන් සරණ යයි. මෙය බුදුන් සිටි කාලයේ සිට (එනම් මීට අවුරුදු 2500 කට පෙර සිට ) පැවත එන සිරිතක් දැයි මම නොදනිමි. ඊජිප්තුවරුන්, සුමේරියන් වරුන් හා මෙලූහා වරුන් අතර මීට අවුරුදු 5000 කට පමණ පෙර වෙලඳ සම්බන්ධතා තිබූ බව සුමේරියානු ලියවිලි වල සටහන් වේ. (සුමේරියානු ශිෂ්ඨාචාරය යුප්‍රටීස්-ටයිග්‍රීස් නදීන් අවට දියුණු වූ අතර, මෙලූහා ශිෂ්ඨාචාරය ඉන්දු හා (දැනට නැති) සරස්වතී නදීන් අවට දියුණු විය. මෙලූහා ශිෂ්ඨාචාරය මොහෙන්ජදාරෝ-හරප්පා ශිෂ්ඨාචාරය ලෙසද දැන් හැඳින් වේ.) ඊජිප්තුවේ ලියවීම් වලට අනුව දෙවියන් සඳහා ගයන ස්ලෝක තුන් වරක් ගායනා කල බව Matt පවසයි.


මේ අතර 18 වන රාජවංශයේ රජෙකු වන Akhennaten ගැනද හොඳ විස්තර සපයයි. නිසා කතාවක් හැටියට නව කථාව අසාර්ථක මුත් ඔහුගේ මෙවැනි සවිස්තර ඊජිප්තු ඉතිහාස ලියවිලි නිසා පොත කියවීම කුතුහලය දනවන සුළුය.


https://artsandculture.google.com/asset/the-crossword-stela-of-paser/dQErofSqEdzcRA?hl=en

No comments:

Post a Comment