Sunday, November 19, 2023

දඹදිව බෞද්ධ කලාව

කතෘ: ආනන්ද ගුරුගේ
ප්‍රකාශක: ගොඩගේ 2014


දඹදිව සහ ලෝකයේ වෙනත් තැන්වල ඇති බෞද්ධ විහාර, පිළිම, ලෙන්, හා චිත්‍ර කලාව පිළිබඳව ඉතා කෙටි විස්තර වලින් සමන්විත පොතකි.  ඊට අමතරව හින්දු හා මුස්ලිම් කලා ගැනද කුඩා සටහන් කිහිපයක්ද ඇතුළු කොට ඇත.  මේ බොහොමයක් තැන් වලට කතුවරයා ගොස් ඇති බවට හැඟීමක් කියවද්දී ඇති වේ.  මෙය පිටු 304 ක පොතක් වුවත් ලිපි ඇත්තේ පිටු 120 ක පමනය.  අනෙත් පිටු වැඩිහරියක ඇත්තේ කලා කෘති වල පින්තූර ය.


බෞද්ධ ඉන්දියාව ගැන පොත පත හා පත්‍රිකා කියවීම තුලින් තවම පිළිතුරු සොයා ගත නොහැකි ප්‍රශ්ණ කිහිපයක් මා හට ඇත. එයින් ප්‍රශ්ණ තුනකට පිලිතුරු තවම නොලැබුනත් ඒ සඳහා මීට කලින් නොකියවූ කෙටි විස්තර කිහිපයක් මෙම පොතින්ද ලබා ගත හැකි විය.  එම ප්‍රශ්ණ තුන කෙටියන් මෙසේය.


(1) දැනට භාර්හුට් නමින් හඳුන්වන ස්ථානයේ තිබූ බෞද්ධ සිද්ධස්ථානය වැදගත් ඇයි?

(මෙම විහාරය හා එහි තිබූ සෑය බ්‍රිතාන්‍ය යුගයේ  අග භාගයේදී ප්‍රදේශ වාසීන් විසින් මුළුමනිම විනාශ කොට ඇත.  වාසනාවකට මෙහි තිබූ කැටයම් හා කලා කෘති නොයෙකුත් කෞතුකාගාර වල ආරක්ශා වී තිබේ.)


(2) පැරණි අමරාවතී විහාරය වැදගත් වන්නේ ඇයි?

(මෙම විහාරයද බිරිතාන්‍ය යුගයේ අග භාගයේදී ප්‍රදේශ වාසීන් විසින් සහමුලින්ම විනාශ කරන ලදි.  ඉන්දීය රජය හෝ ප්‍රාන්ත රජය විසින් දැන් මෙම ස්ථානයේ නවතම ටෝකන් අමරාවතියක් ගොඩ නගා ඇත.  වාසනාවකට මෙහි තිබූ කැටයම් හා කලා කෘති ද නොයෙකුත් කෞතුකාගාර වල ආරක්ශා වී තිබේ.)


(3) දැනට ලෞරියා නන්දන්ගර් නමින් හඳුන්වන ස්ථානය වැදගත් වන්නේ ඇයි?

(පාඨලීපුත්‍ර නගරයේ සිට ලුම්බිනිය දක්වා තිබූ මාර්ගයේ මෙම ස්ථානය තිබේ.  මෙහි අසෝක රජතුමා විසින් ස්ථම්භයක් පිහිටුවා ඇත.  දැනට නොකැඩී ඉතිරිව ඇති ස්ථම්භ දෙකින් එකකි මෙය.)


මෙම ප්‍රශ්ණ වලට පිලිතුරු සමහර විට ත්‍රිපිටකයේ තිබෙන්නට ඉඩ තිබේ.  ත්‍රිපිටකය ඉතා ප්‍රවේශමින් කියවීම මගේ එක් අනාගත අරමුණකි.


අජන්තා ගුහා හා එල්ලොරා ගුහා ගැන තබා ඇති සටහන් කුඩා වුවද මීට පෙර මා නොදැන සිටි කරුණු කිහිපයක් දැන ගැනීමට ලැබුනි.  මව සමග ගිය වන්දනා ගමනේදී ඒ කාලේ තිබූ නොදැනුවත් කම නිසා මෙම ස්ථාන එම ගමනට ඇතුලත් නොවීම ගැන දැන් කණගාටුවක් ඇති වේ.  මා මිතුරියක් එන ජනවාරි මාසයේ මෙම ලෙන් විහාර බැලීමට යන නිසා ඇයට කියා මෙම ගුහාවල ඇති වැදගත් බෞද්ධ කැටයම් වල පින්තූර ලබා ගැණීමට අදහස් කරමි.


මෙම පොත කොටස් තුනකින් යුක්තය.  වඩා දිග පළමු "භාගය" බෞද්ධ කලාව වෙනුවෙන්ද, කුඩා දෙවන භාගය බෞද්ධ, "හින්දු", හා මුස්ලිම් කලා වෙනුවෙන්ද, කුඩාම කොටස වන පරිශිෂ්ට නේපාලයේ, ජපානයේ, හා මියන්මාරයේ බෞද්ධ කලා වෙනුවෙන්ද වෙන් කොට ඇත.  පලමු භාගයේ අවසාන චේදයේ ඉන්දියානු විද්වතෙකුගේ අදහසක් ඇතුලත් කොට ඇත.  එම චේදයේ කොටසක් මෙහි තබමින් මෙම සටහන අවසන් කරමි.


ලෝකයේ පැරණි නිර්මාණ අතරින් ඉතාමත් ලස්සන ගොඩනැගිල්ලක් ලෙස ලෝ වැසි විවේචකයන් විසින් මහත් හඬින් වර්ණනා කරණු ලබන ටජ්මහල් නම් විශ්මය ජනක ගොඩනැගිල්ල පවා තම රටට ආඩම්බරයක් ලබා නොදෙන බව ඉන්දියානුවෝ කියති.  බෞද්ධ කලා කෘති හුවා දැක්වූ ඉන්දියානු විද්වතෙකු විසින් මෙය පහදා දෙනු ලැබුවේ මෙසේය.  මෝගල් සමයේදී කැරුණු උසස් ම කෘතිය පවා ඉන්දියාව කලක් විදේශ ජාතියකට වහල් ව සිටි බව දක්වන හෙයින් ස්වාධීන රටක ස්වාධීන කලාව පිළිඹිඹු කරන බෞද්ධ කලාව වඩා වැදගත් ය.  "මා ඔබගේ රටට පැමිණියොත් මට පෙන්වන්නේ ගාල්ලේ ඕලන්ද කොටුවද නැතිනම් සීගිරියදැයි" අපගෙන් ඇසීය.

No comments:

Post a Comment