Friday, January 8, 2021

රතු ඉරි අඳින අත

කතෘ: ලියනගේ අමරකීර්ති
ප්‍රකාශක: විශර්ශන 2019

එක හුස්මට කියවා අහවර කලෙමි.  අතින් බලන කල මේ කතාව කම්මැලි හිතෙන කතාවක් නොවේ.  චරිත හඳුන්වා දීම හා චරිත අතර ඇති සම්බන්ධතා ඉදිරිපත් කිරීමද දක්ෂ ලෙස කර ඇත.  


කතුවරයා ඉතා හදිසියකින් මෙම කතාව ඉවරකරන්නට උත්සාහා දරා ඇති යැයි මට සිතේ. ප්‍රකාශකයා මෙය ඉවරකරන්නට බල කෙරුනු බවක් සඳහන් වේ. සමහර බටහිර කතුවරුන් මෙන් නිශ්චිත පොත් ගණනක් නිශ්චිත කාල සීමාවක ලිවීමට කතුවරයා ප්‍රකාශකයා සමග ගිවිසුමක් අත්සන් කර තිබීමටද හැකියැයි සිතේ. මේ චරිත මෙයට වඩා සංයමයකින් හා සවිස්තරව වර්ධනය කල යුතු යැයි සිතේ. එමෙන්ම කතාවේ හිස් තැන් වැසීමටද කටයුතු කරන්නට තිබුනි. පොතට දමා ඇති නමට දී ඇති තේරුම පාවිචිචි වෙන්නේ නැති තරම් . මෙයද පුළුල් කල යුතුව තිබිණ. මෙය කතා වැලක මුල් කතාව දැයි සිතෙන්නේ නිසාය.


මනඃකල්පිත කතාවක් ලෙස සලකන්නේ නම් මෙම කතාවේ ප්ලොට් එක අපූරුය. එහෙත්මෙම කතාව කියවද්දීද, කියවා අවසන කතුවරයා තම කෘතඥතාව පුද කරන විටදී මෙය හුදෙක්ම මනඃකල්පිත කතාවක් ලෙස කතුවරයා නොසලකන බව හැඟේ. එසේ සලකන විට කතාවේ ඇති අතිශ්‍යෝක්තිය ඉස්මතු වේ. මෙය ලංකාවේ සමහරක් කතුවරයන් අතර ඇති දුර්වලතාවයකි. තම තමන් පිලිගත් දේශපාලනීය මතවාද අතිශ්‍යෝක්තියෙන් මවා පා සත්‍යය ලෙස ඉදිරිපත් කිරීමකට අර අඳියි. මේ කෙරුවාව කොටි හිතවාදීන් විසින් අවුරුදු 30 කට වඩා කාලයක් කල බව කිව යුතුය. 


ලංකාවේ ඇති බරපතලම ප්‍රශ්ණය ලෙස මා දකින්නේ ලංකාවේ විතරක් ඇති රෙගියුලේශන් වලින් තොර නිදහස් වෙළඳ පොලයි. මෙම වෙළද පොලෙහි කෙරෙන දූෂණට වල ප්‍රධානම විත්ති කරුවන් වන පෞද්ගලික සමාගම් වලට චෝදනා එල්ල වෙන්නේ නැත. මෙම පොතෙහි ''රතු ඉරි අඳින අත" මෙම විත්තිකරුවන් නොවේ. ප්‍රධාන විත්තිකරුවන්ගෙන් පල ප්‍රයෝජන ලබමින් හා සමානම පල ප්‍රයෝජන ලබන තව කොටසක් පමනක් රතු ඉරි අඳින්නන් ලෙස කතා කිරීම අතිශ්‍යෝක්තියකි.


මෙවැනි කතා කියැවීමට මට දැන් කිසිම පිරියක් නැත.

Thursday, January 7, 2021

Egypt—The Book of Chaos

කතෘ: Nick Drake

ප්‍රකාශක: Bourbon Street Books  2011


පසුබිම: From the Rise and Fall of Ancient Egypt by Toby Wilkinson


පුරාණ ඊජිප්තුවේ 18 වන රාජ වංශයේ නවවන රජතුමා වන Amenhotep III (1390 - 1353 BC) ගේ රජකම හිමි පළමුවන පුත්‍රයා රජුට පෙර මිය ගියේය.  ඒ නිසාවෙන් ඔහුගේ දෙවන පුත්‍රයා 1953 BC හිදී Akhennaten නමින් රජ විය.  ඔහුගේ ප්‍රධාන බිසව රූ රැජිනක් ලෙස ලොව පතල Nefertiti ය. (1345 BC හී නිමවන ලද හුණු ගලින් කරන ලද Nefertiti ගේ bust එකේ ප්‍රතිමාවක් බර්ලින් කෞතුකාගාරයේ තබා ඇත.)

http://www.egyptian-museum-berlin.com/c53.php


Akhennaten ගේ මුල් නම Amenhotep ය.  එහි තේරුම  “Amun is content” වන අතර ඒ කාලයේ ඊජිප්තුවේ මිනිසුන් ඇදහූ දෙවි වරුන් අතර Amun (invisible god) ප්‍රධාන තැනක් ගනී.  රජ වීමෙන් පසු Amun හා අනෙකුත් දෙවිවරුන් ඇදැහීම අතහල Akhennaten ඔහුගේ දෙවියා ලෙස Aten නම් දෙවියා පමණක් තොරා ගත්තේය.  Akhennaten හි තේරුම “Effective for Aten” යන්නය.  Amun දෙවියා ඇදැහූ බහුතරයක් සිටි අග නගරය වන Memphis අතහල Akhennaten තමන් තෝරාගත් දෙවියා ඇදැහීම සඳහා මෙම්පිස් හා තේබීස් (Thebes) අතර නව අග නගරයක් ඉදි කලේය.  Aten යන්නෙහි තේරුම සූර්‍යයාගේ කක්ෂය (“solar orb”) යන්නයි.  Aten ගේ පුත්‍රයා නමින් තමුන් හඳුන් වා ගත් Akhennaten ඔහු ඉදි කල අගනුවර වන Akhet-Aten (“the horizon of the Aten”) හී 17 වසරක් රජ කලේය.  ඔහුගේ රාජ්‍ය කාලය තුල අනෙක් දෙවියන් සඳහා වූ පන්සල් වලට වූ රාජ්‍ය අනුග්‍රහය නැතීවී ගියේය.  මේ නිසාවෙන් පුරාණ දෙවියන් ඇදහූ බහුතරයක් ඔහු "මිථ්‍යාදෘෂ්ටික" රජෙකු (heretic king) ලෙස සැලකීය.


Akhennaten හා Nefertiti ට සිටියේ දූ වරුන් පමණි. Akhennaten මිය යාමත් සමගම රටට අවිනිශ්චිත කාලයක් උදා විය.  Nefertiti ඇයගේ වැඩිමහල් දුවනිය සමග අවුරුද්දක් පමණ බලය අල්ලා ගෙන සිටි මුත් ප්‍රතිගාමී බලවේග බලය අල්ලා ගැනීමට මගක් සෙවූහ.  Akhennaten ගේ ද්විතීයික බිරිඳකගේ පුතෙකු වූ 13 හැවිරිදි Tutankhaten (“the living image of Aten”)  Nefertiti ගේ තුන් වන දුවණිය වන Ankhesenpaaten තම බිසව කර ගනිමින් රජකමට පත් විය.  මාස කීපයක් ඉක්ම යන්නට පෙරම Amun පූජකයන්ගේ බල කිරීම් තුලින් තම නම් වෙනස් කිරීමට රජුත් බිසවත් එකඟ වූහ.  Tutankhaten තම නම Tutankhamun ((“the living image of Amun”) ලෙසද Ankhesenpaaten තම නම Ankhesenamun (“she lives for Amun”) ලෙසද වෙනස් කර ගත්හ.  Akhetaten අතහල ඔවුහු තේබීස් නගරයට පාලනය ගෙන ගියහ. සමහර විට වැඩිවියට පත් පසු හා බලය තහවුරු වූ පසු Tutankhamun ද තම පියා ගිය මාර්ගයේම යාවී යැයි පූජකයින්ට සැකයක් තිබුනා විය හැක.  වැඩි වියට පත් වන්නට පෙරාතුවම Tutankhamun අබිරහස් ලෙස මිය ගියේය.  Ankhesenamun තනි විය.  


මේ අතර ඊජිප්තු හමුදාවේ සේනාධිපති Horemheb තමන් නෙරපා බලය අල්ලාවිය යන සාධාරණ සැකයක් Ankhesenamun ට හා පූජකයින්ට විය.  තම සීයා තරම් වයසක පූජකයකු වන Ay සමග විවාහ වීමට එකඟ වූ Ankhesenamun තාවකාලිකව බලය තහවුරු කර ගත්තීය.  එහෙත් Ay වැඩි කලක් ජීවත් වන්නේ නැති බව දත් Ankhesenamun ඊජිප්තුවේ පරම සතුරන් වන Hittite අධිරාජ්‍යයේ රජු වන Suppiluliuma හට ඔහුගේ පුත්‍රයෙකු තම සැමියා ලෙස එවන ලෙස බැගෑපත් අයාචනයක් රහසේම දූතයන් අත යැවීය.  Suppiluliuma ට යැවූ පණිවිඩයේ Ankhesenamun මෙසේ ලිවීය.  “Never shall I take a servant of mine and make him my husband”.


ඇගේ ඉල්ලීමෙන් විශ්මිත වූ Suppiluliuma මෙසේ පවසා තිබේ.  “Nothing like this has ever happened to me in my entire life.”  නමුත් අවසානයේ දී Suppiluliuma තම පුත් Zannanza  ඊජිප්තුව වෙත යැවීය. එහෙත්  Zannanza ට ඊජිප්තුවට ලඟා වීමට නොහැකි විය.  අතර මගදී ඔහු අතුරුදහන් විය.  Ankhesenamun ට ඉන් පසු වූයේ කුමක්දැයි ඉතිහාසයේ ලියැවී නැත.  ඇයත් සමගම 18 වන රාජ වංශය අවසන් විය. ඊජිප්තියානු යුධහමුදාවේ නායක (general of generals) Horemheb ඊජිප්තුවේ ඊලඟ පාරාවෝ හැටියට බලයට පැමිණියේය.


Nick Drake තම නවකතාවට පාදක කර ගන්නේ ඉහත සඳහන් පසුබිමයි.  


Rahotep  තේබිස් (Thebes) පොලීසියේ රහස් පරීක්ශක වරයෙකි.  හිස වෙන්කරන ලද නූබියන් (Nubian) තරුණයින් පස්දෙනෙක් ගේ මල සිරුරු හිමිදිරි උදෑසනක තේබිස් හී හරස් පාරක තිබී හමු විය.  තේබිස් වලට ලඟක සිට ඔපියම් (opium) සපයන නවතම කල්ලියක් මෙම බිහිසුණු මිණී මැරීම් වලට වගකිවයුතු යැයි Rahotep සැක කරයි.  ඔහුගේ මිතුරු රහස් පරීක්ෂක වරයෙකු වන Khety මේ අළුත් කල්ලිය ගැන සොයා බැලීමට Rahotep හට බල කල මුත් ඔහු තරමක් පසු බට විය.  එයට හේතුව යුදහමුදාව මේ කල්ලියට අනුබල දෙන්නේ යැයි ඔහු සැක කල බැවිණි.  ඊජිප්තුවේ බලය අල්ලා ගැනීමට හමුදා නායක Horemheb බලා සිටින බව ඔහුට රහසක් නොවීය.


ඊට පසු දින උදෑසන Khety ගේ හිස සුන් මලකඳ තේබිස් හී හරස් පාරක තිබී හමුවිය.  Khety හා සමග තමන් ගියා නම් Khety හට මේ ඉරණම අත් නොවන බවට Rahotep පසු තැවිලි වෙයි.  මේ අතර ඊජිප්තු රැජිණ Ankhesenamun ඊජිප්තුවේ විදේශ ඇමති (Royal envoy to all foreign lands) Nakht අත Hittite රජු වෙත අති රහස් පණිවුඩයක් යවන බවත් ඔහුගේ ආරක්ශකයා හැටියට යන ලෙසත් Rahotep ගෙන් ඉල්ලා සිටියේය.  රැජිණ ගේ ඉල්ලීමට එකඟ වූ Rahotep ඒ ගමන යන අතර තුර ඔපියම් කල්ලිය ගැනත් හැකි හැම විටම සොයා බලයි.


ඉහත සඳහන් ඉතිහාස ගත කරුණු හා තමන්ගේ අදහසුත් මිශ්‍ර කරන Nick ඊහිප්තුවේ සිට හිටයිට් දක්වා ගමනත් ඊට පසු ආපසු එන ගමනත් ත්‍රාසය මුසු කොට එලි දක්වයි.  මෙම ගමනේ විස්තර කියවන්නාගේ හිතෙහි මවා පෑමට කතුවරයා කල උත්සාහය සාර්ථක යැයි කිව හැක.  එනමුත් Nick ගේ සමහර ඇතුලත් කිරීම් ඒ ඉතිහාස ගත කාලයට නොගැලපේ යැයි මට සිතේ.

The Heretic Queen

කතෘ: Michelle Moran

ප්‍රකාශක: Three Rivers Press  2009


පසුබිම: From “The Rise and Fall of Ancient Egypt” by Toby Wilkinson


ඊජිප්තුවේ18 වන රාජ වංශය අවසන් වූයේ Horemheb ඊජිප්තුවේ ඊලඟ පාරාවෝ හැටියට බලයට පැමිණිමත් සමගම ය.  Horemheb ට දරුවන් සිටියේ නැත.  බලයට පැමිණියේ වයස් ගත ව බැවින් ඔහුට පසුව පාරාවෝ වීම සඳහා පිරිමි දරුවෙකු ඇති  ඔහුට හිතවත් හමුදා නිලධාරියෙකු වන Paramessu ව Horemheb තෝරා ගත්තේය.  Horemheb ගේ රජ කාලය අවසන් වන්නට කිට්ටුව පරමේසු තම නම Ramessu ලෙස වෙනස් කර ගත්තේය.  19 වන රාජ වංශයේ පලමු රජු ලෙස රමෙස්සු—better known as Ramesses I—1292 BC හිදී රජ විය.  රජ වී මාස 18 ක් ඇතුලත පළවන රැම්සිස් මිය ගියේය.  ඉන් අනතුරුව ඔහුගේ පුත්‍රයා  සෙටී (Seti I) නමින් රජ විය.


(පහත සඳහන් පරිච්චේදය කිය වීමට පෙර Egypt නැමැති පොත සඳහා ලියූ සටහන බලන්න.)


Ankhesenamun හා විවාහ වීම සඳහා එවූ තම පුත් Zannanza ගේ අබිරහස් මරණයෙන් කුපිත වූ හිටයිට් රජු ඊජිප්තුව සතුව තිබූ සිරියාව ආක්‍රමණය කොට එහි රටවැසියන් යුද සිරකරුවන් ලෙස තම රටට ගෙන ගියේය.  ඔහුට නොදැනුවත්ව ඔහු ගෙන ගිය සමහර සිරකරුවන්ට plague සෑදී තිබින.  හිටයිට් අගනුවර වන Hattusa වල plague වැළඳුණු ජනයා විශාල ලෙස මිය ගියහ. හිටයිට් රජුද ඔහුගේ ඔටුන්න හිමි පුත්‍රයාද plague සෑදී මිය ගියහ.  සෙටී රජවන විට ඊජිප්තියානු හා හිටයිට් රාජ්‍යය සීතල යුද්ධයක (cold war) පැටලී සිටියහ.  


හිටයිට් රාජ්‍යය සමග නැවත සටන් ආරම්භ කල සෙටී නැවත සිරියාවේ බලය තහ වුරු කර ගත්තේය.  නමුත් මේ බලය තාවකාලික විය.  ප්‍රාදේශීය රාජවරු ඊජිප්තියානුන් ආපසු ගිය කල නැවතත් හිටයිට් රාජ්‍යයට ගැති කම් පාන්නට විය.  සෙටී ගෙන් පසු ඔහුගේ පුතා Ramesses II නමින් රජවිය.


Ramesses II හිටයිට් රජු සමග සටනට බලඇණි හතරක් සමග පිටවිය.  මෙම බලඇණි Seth, Ptah, Ra හා Amun නමින් හැඳින් විය.  හිටයිට් හමුදාව Kadesh නගරයෙන් Aleppo පලා ගිය බවට ඊජිප්තුවන්ට අසුවූ හිටයිට් ඔත්තු කරුවන් දෙදෙනෙකුගෙන් අසන්නට ලැබිණ.  Seth, Ra හා Ptah බලඇණි Kadesh වලට දකුණින් නතර කල රැම්සීස් Amun බල ඇණිය මෙහෙය වමින් Kadesh පසු කොට උතුරට ගොස් Orentes ගඟ අසබඩ කඳවුරු බැඳ ගත්තේය.  එලෙස කඳවුරු බැඳගත් විට සාමාන්‍ය සිරිතක් ලෙස අවට නිරීක්ශණයට යැවූ බුද්ධි අංශ සෙබළුන්ට හිටයිට් ඔත්තුකරුවන් දෙදෙනෙකු අසු විය. ඔවුන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්ණ කිරීමේ දී හිටයිට් හමුදාව සැතපුම් 120 ක් දුරින් ඇති Aleppo වල නොව Kadesh වලට නැගනහිරින් සිටින බව අනාවරණය විය.  තම රහස හෙලිවූ බව දැනගත් හිටයිට් රජු වන Muwatalli තම හමුදාව Amun බලඇණියට සහාය පිනිස පිටත්වූ Ra බලඇණියට පිටුපසින් ගොස් මහා විනාශයක් කලෝය.  Ra බලඇණිය සී සී කඩ ගිය පසු වහාම උතුරට ගමන් කල හිටයිට් හමුදාව Amun බලඇණියට තද බල ප්‍රහාරයක් එල්ල කලේය.  Seth හා Ptah බලඇණි උදව්වට එන්නට පෙර සටන නිමා කිරීමට හිටයිට් වරුන්ට අවශ්‍ය විය.  පරාජය පෙනි පෙනීත් අභීතව සටන් කල රැම්සීස් තමාගේ අනෙක් බල ඇණි සහායට එනතෙක් හිටයිට් හමුදාවට පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉඩ නොදුන්නේය.  රැම්සිස් දිවි ගලවා ගත්තේ කෙසේ දැයි Wilkinson මෙලෙස විස්තර කරයි.  


It was not a miracle but the result of the Egyptian’s tactical genius.  While the main Egyptian army had marched overland to Kadesh, a reserve force of elite warriors had been sent by sea, up the Phoenician cost.  Its instructions were to land at the Syrian port of Sumur and cut inland via the Eleutheus Valley to link up with Ramesses at Kadesh on the day of his arrival.  As the elite charioteers appeared in the cloud of dust on the horizon, the pharaoh knew help was at hand.


සටන තව දුරටත් ජය ගැනීමට නොහැකි බව වටහා ගත් මුවතාලි කඩේශ් වලට පසු බැස්ස අතර, රැම්සීස් තම හමුදාව සමග සිරියාව පසු බැස්සේය.  මෙම සටන The Battle of Kadesh නමින් හැඳින් වේ.


රැම්සීස් ගේ ප්‍රධාන රැජින රූ රැජිණක් ලෙස පතල Nefertari ය.  (මැය Nefertiti ගේ සොහොයුරියකගේ දුවක් ලෙස මොරෑන් සඳහන් කරයි.)  ඇය භාෂාකිහිපයක්ම චතුර ලෙස කථා කිරීමට හැකි උගත් කාන්තාවකි.  රැම්සීස් the battle of Kadesh සඳහා ද ඇය රැගෙන ගිය බව සඳහන්ය.  රැම්සීස් අවුරුදු 70 ක් රජ කලේය.  ඔහුගේ රාජ්‍ය කාලය තුල විහාර විශාල ගණනක් ගොඩ නැගීය.  ඒ සෑම විහාරයකම the battle of Kadesh හිදී ඔහු හිටයිට් හමුදාවට ජයග්‍රහනය ලබා ගැනීමට නොදී කල වීර ක්‍රියාව ගැන ලියා තැබීමට අමතක නොකලේය.  Nefertari හා රැම්සීස් අතර ඉතා ආදර බැඳීමක් විය.  ඔහුගේ ගොඩනැගිලි සැම එකකම පාහේ ඈ ගැන කවි ලියා ඇත. 


The battle of Kadesh ගැන Wilkinson මෙලෙස සටහනක් තබයි.

For modern scholars, the images and words furnish an extraordinary amount of detail, and make the Battle of Kadesh the best-known military encounter in the ancient world.


මේ අතර ආපසු ගිය මුවතාලි මිය ගියේය. The battle of Kadesh ට සහභාගී වූ ඔහුගේ සහෝදරයා වන Hattusili හිටයිට් රාජ්‍යයේ බලය අල්ලා ගත්තේය.  රජ කමට නියමව විටි මුවතාලී ගේ පුත්‍රයා රැම්සීස් වෙත පලා ආයේය.  මුවතාලී ගේ පුත්‍රයා ආපසු එවන ලෙස කල බලපෑම් ඉවත හල රැම්සීස් සිරියාවේ සිටි තම හමුදා සීරුවෙන් තැබීය.  මේ අතර ඇසිරියානුන්ගෙන් හිටයිට් වරුන් හට තර්ජනයක් ඇති විය.  පෙරමුණු දෙකක සටන් කිරීමට හිටයිට් වරුන් නොකැමැති විය.  එහෙයින් ඊජිප්තුව සමග සාමකතා ආරම්භ විය. The battle of Kadesh සටනින් අවුරුදු 15 කට පසු රැම්සීස් සිටි Per-Ramesses නුවර වෙත ලඟා වූ ඉහල මට්ටමේ හිටයිට් නියෝජිත කණ්ඩායමක් ලොවේ දැනට සොයා ගෙන ඇති පැරණිම සාම ගිවිසුමට රාජ්‍ය මුද්‍රා තැබීය.  මෙම ගිවිසුමෙහි මුද්‍රා අතර රැම්සීස් හා නෙෆටාරිගේ මුද්‍රා තිබේ.  මෙම ගිවිසුමෙහි කොපියක් හිටයිට් අගනුවර තිබී සමු වී දැන් නිව්යෝක් නුවර ඇති එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ලේ එල්ලා තිබේ.


ඉහත සඳහන් පසු බිම තුල Michelle Moran ගොඩ නගන්නේ Nefertari ගේ කථාවයි.  


නෙෆරාටි හා රැම්සීස් හැදී වැඩුනේ සෙටීගේ රාජමාලිගය තුලයි.  දෙදෙනා අතර කුඩා කල සිටම තද බල බැඳීමක් විය.  නෙෆරාටි (Neferari) නෙෆටීටී (Nefertiti) ගේ සහෝදරිය වන Mutnojmet ගේ දියනියයි.  තම නැන්දා වන නෙෆටිටී heretic queen යනුවෙන් මිනිසුන් අතර අපකීර්තියට පත් වී සිටින නිසා නෙෆරාටිහටද එම චොදනාව බලපායි.  බලගතු පූජකයෙකු වන රහොටෙප් (Rahotep) හා සෙටී රජුගේ සහෝදරියක් වන Henuttawy නෙෆරාටි හා රැම්සීස් හා බැඳීමකට විරුද්ධය.  ඔවුන් විසින් Iset නම්වූ තව කුමාරිකාවක් හා රැම්සීස් ගේ විවාහයට මග පාදයි.  අසරණ වූ  නෙෆරාටි ගේ පිහිටට සිටින්නේ ඇගේ භාරකාරිය වන Merit,  සෙටී ගේ තවත් සොහොයුරියක් වන Woserit හා පූජකයකු වන Paser ය.  ඔවුන් නෙෆරාටිව අගනුවරින් පිටින් පිහිටි ආරාමයකට ගෙන ගොස් තවතවත් ඉහලට ඉගැනීමට ඇයට උදව් කරයි.  නෙෆරාටිට රැම්සීස් හමුවන්නට මගක් යෙදෙන තෙක් ඔවුන් ඉවසිල්ලෙන් බලා සිටී.  ඉහත සඳහන් ඓතිහාසික සිදුවීම් තුලින් කතාව සුමටව ගලා යයි.


මට හිතෙන විදිහට මොරෑන් එකල තිබූ ඊජිප්තු චාරිත්‍ර හා වාරිත්‍ර කදිමට ලියා ඇත.  ඒ අතරම සුළු සුළු වෙනස් කම් කිහිපයක් හැරෙන්නට ඇගේ කතාව ඉතිහාසයට අනුකූලව විස්වාස කල හැකි අන්දමටද ලියා ඇත.