Friday, September 24, 2021

මල් නැති උයන

කතෘ: එරික් ඉලයප්ආරච්චි
ප්‍රකාශක: ගොඩගේ 2014


මෙය මනබඳින කෙටිකතා හතකින් සමන්විත කෙටිකතා පොතකි.  මෙම කතා 80 දශකයේ මුලදී ලංකාවේ නැගෙනහිර පලාතේ තිබූ වාතාවරණ තුල ගොඩ නැගූ කතා ලෙස අණුමාන කල හැක.  එරික් කතා ලිවීමේදී යොදා ගන්නා මනහර බස මෙම කතා කියවීමේදී ඇතිවන මානසික සුවය තීව්‍ර කරයි.  මෙම පොත කියැවීමට පෙර ලංකාවේ නව ආරේ කතුවරියකගේ පිටරට ගමණක් පිළිබඳ නවකතාවක් කියැව්වෙමි.  ඈ යොදාගත් අමිහිරි බස හා එරික්ගේ මිහිරි බස සන්සන්දනය කලහොත්, එය Lou Reed ගේ Metal Machine Music ට සවන් දී ඉන්පසු අමරදේවගේ "...දොඩම් කපාලා...ඇඹුල් තනාලා...නාන්ට යන සැටි බලන් කළු.." අසන්නා වැනිය.


එවං මේ සුතං (සිංහල පරිවර්තනය: මා විසින් මෙසේ අසන ලදි) කතාවේදී එඩ්වින් සමරදිවාකර ගේ ගෝලයෙකු තම දිවිය සංගීතය සඳහාම කැපකර තනිව වෙසෙන්නෙක් ගේ චරිතය අපට හඳුන්වා දෙයි.  (අමරදේව ගැයූ ඉපිද මැරේ ගීතයට සංගීතය සපයා ඇත්තේ එඩ්වින් සමරදිවාකර යි.)  එඩ්වින් සමරදිවාකර ගේම තවත් ගෝලයෙකු වන ඔහුගේ හිත මිතුරාත්, ඔහුගේ සහෝදරියත් ඔහුට බිරිඳක් සොයා දීමට ගත් සෑම උත්සාහයක්ම කුමන හෝ අහේතුක හේතුවක් මවා පා නිශ්ප්‍රභා කිරීමට ඔහු සමත් වෙයි.  මේ කතාවේ මා හිත් ගත් එක් චරිතයක් වන්නේ අනෝමා ය.  ඇය වැනි නිදහස් ගැහැණුන් ලංකාවේ වෙසෙන්නේදැයි කියා හිතන්නට අමාරුය.  


කාලකණ්ණියා කතාවේදී අපට තවත් තනිකඩ චරිතයක් හමුවේ.  ඔහු තනිකඩ වූයේ කෙසේද යන්න කතාව අතර තුර අපට හිතා ගත හැක.  අප කතා නායකයා වැලිසර ළය රෝහලේ වෘතිය කල උපස්ථායකයෙකි.  ඔහු තම ජීවිතය රස වින්දේ සමසමාජ පක්ෂ සාමාජිකයෙකු හැටියට ය.  හතලිස් පනස් ගනන් වල සමසමාජ පක්ෂය විසින් මෙහෙයවන ලද වැඩ වර්ජන, හර්තාල් වලට සහභාහී වීම විවාහයකට ඇතුළු වීමට වඩා ඔහුට රසවත් විය.  සමසමාජ පක්ෂය පිරිහී යෑමත් ඒ වෙනුවට ලුලුම්බා සරසවියේ උපාධිය අතහැර පැමිණියෙකු විසින් ගොඩනගන ලද නව පක්ෂයකට නව පරපුර ඇදී යෑමත් ගැන ඔහු දුක් වෙයි.  ඔහුගේ වාසනාවට තවත් නිදහස් ගැහැණියක් ඔහු පිළිගත්තත් එම සම්බන්ධය ද ඔහුගේ හිතේ ඇති දේශපාලන වියවුල් මගින් අනතුරේ හෙලීමට තරම් හැකියාවක් ඔහුට ඇත.  මේ නයින් ඔහුගේ මුළු ජීවිතයම "කාලය කා දැමීමක්" ලෙස යමෙකුට හැඟෙන්නට පුළුවන.  එහෙත් නව පරපුරද ඔහුගේ පරපුර මෙන්ම "කාලය කා දැමීමකට" සැරසෙන බව අපට පෙනේ.

කාස රෝහලේ සිටි එක් රෝගියෙක් දෙස නව පක්ෂයට ඈඳුණු තරුණ උපස්ථායකයෙක් මෙසේ කියයි.

දවාලටත් එකයි රෑටත් එකයි, මල කරදරේ කාලකණ්ණියා.

කුලරත්නගේ මුවින් පිටවූයේ සිත රිදවන වදන් ය.

ඔය කියවන්නේ මොකක්ද දන්නවා ද?  කඨින වංශය!  කප්පානං දේව ලෝකේ රමා මහං.  එහෙමයි ඒකේ තියෙන්නේ.  දිවිය ලෝකේ ඉඳන් රම් රජ්ජුරුවෝ කප්පං ගන්නවාලු.  ඒක වෙන්නැති තේරුම.

[කප්පානං දේව ලෝකේ රමා මහං හී තේරුම සෙවූ මට පසු සඳහන් තේරුම හමු විය.
අට්ඨාරසන්‍තං කප්පානං දෙවලොකෙ රමාමහං 
කල්ප දහඅටක් දෙව්ලොව සැප වින්දෙමි.]


බයිසිකල් කාරයෝ කතාවේදී ද අපට තනිකඩයෙකු හමුවේ.  තරුණ කාලයේදී ගමෙහි රස්තියාදු ජීවිතයක් ගතකල ඔහු ගමෙන් පිටවී දුර ඈතට ගොස් දහඩිය මහන්සියෙන් ධනය උපයා තරමක ධනපතියෙකු ලෙස අවුරුදු ගනනාවකට පසු ගමට පැමිණේ.  ඔහුගේ අරමුණ තනිකඩ ජීවිතයට සමුදීමයි.  එහෙත් අවුරුදු හතකට පෙර ඔහුගේ පෙම්වතිය දැන් තව අතක් බලා සිටී.  ඇය දුප්පත් ජීවිතයක් ගත කලද, ඇයගේ නව පෙම්වතාද දුප්පත් වුවද, ඇගෙන් ඔහු බලාපොරොත්තු වූ ඇඟෑලුම් කමක් නොදැනේ.  ඇයගේ නව පෙම්වතා බයිසිකල් රේස් කරුවෙකි.  ඔහුගේ මුදලින් බයිසිකලය හදාගත් නව පෙම්වතා සියළු බයිසිකල් කරුවන් පරදවමින් දිණුම් කනුව පසු කරනු ඇය බලා සිටී.


නැන්දාගේ දියණිය වන රසාදරී හා විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට බලා සිටින ඔහු අතර ඇත්තේ "සහෝදර ප්‍රේමයකට වැඩි, ප්‍රේම සම්බන්ධයක් නොවන සම්බන්ධයකි".  මෙම සම්බන්ධය දෙදරා යෑමට හේතුවන්නේ ඉඩම් පිළිබඳ ප්‍රශ්ණයකි.  වැඩිහිටියන්ගේ ආරාවුල් මේ දෙදෙනා තනිකඩ කරයි.  මුල් කතා තුන හා මේ කතාවේ වෙනසකට ඇත්තේ මේ දෙදෙනා තවමත් තුරුණු වියේ පසු වීමයි.


වල් අඹ හි කතා නායකයාද එක් ආකාරයක "තනිකඩයෙකි".  ඔහු විවාහ වී වැඩිමහල් වූ දරුවන් සිටින අයෙකු වුවද ඔහුගේ නිවස තුල දැන් ඔහුට සැපයක් නොමැත.  ඔහු සතුට සොයන්නේ ඔහුගේ නිවස අසල ඇති තනිකඩයින් වෙසෙන නේවාසිකාගාරයකට ගොස් ඒ තනිකඩයින් හා සාමීචියේ යෙදීමෙනි.  ඔහුගේ දියනියගේ මංගල්‍යයට වෙහෙසෙන්නේ ඔහුගේ බිරිඳයි.  පිටරට විවාහ වී සිටින ඔහුගේ පුතා මෙම මංගල්‍යයට පැමිණේ.  ඔහු නැවත පිටරට නොගොස් තනිකඩයෙකු වීමට අවශ්‍ය බව තම පියාට දැන්වූ වේලේ ඔහු එය අනුමත නොකරයි.  තම පුතා නේවාසිකාගාරයේ වෙසෙන තනිකඩයින්ට හඳුන්වා දීමට වූ ඔහුගේ මුල් කැමැත්ත ඔහු පලවා හරී. 


ගිරිකුළු හි තනිකඩයා තැපැල් මහත්තයාගේ පවුලට හිටින ලඟම ඉතවතාය.  වැල්ල අයිනේ රමණීය පෙදෙසක සිට උඩරට ගම්මානයකට තැපැල් මහත්තයාට මාරුවක් ලැබෙයි.  මේ ගැන අපේ තනිකඩයාගේ හිත අමනාපය.  ඔහු තැපැල් මතතාගේ පවුල සමග කොළඹ දක්වාම ගොස් ආපසු එයි.  උඩරට ගම්මානයද ඉතා රමණීය පෙදෙසෙකි.  තැපැල් මහත්තයාගේ පුතාට ඉංග්‍රීසි ඉගැන්වීමට ගෙදරට ගෙන්නාගත් ගුරුවරයා සමග තැපැල් මහත්තයා වාද විවාද වල පැටලෙයි.  අපේ තනිකඩයාද ටික කලකට පසු තැපැල් මහත්තයා කරා පැමිණේ.  එහෙත් ඔහුගේ තැනට වෙනෙකෙක් හතුරට සිටී.  මේ නිසා අපේ තනිකඩයා ඉංග්‍රීසි ගුරුවරයාට හිතවත් කම් පායි.  රට පිලිවෙලක් නොමැතිව නවීකරණය වී ඇති මේ කාලේ, ඒ කාලේ තාමත් තිබෙනවා නම් කොතරම් හොඳද යන සිතුවිලි අතර නිතරම සිහින දකින මට ඒ කාලේ සිටි මේ මිනිසුන් කොතරම් සතුටින් සිටින්නට හැකි වූවත් මොනයම් මතබේදයක් මත හෝ අමනාපයෙන් සිටීමට මඟක් සොයා ගන්නා බව දැකීම සිහින වලින් අවදිවීමකි. 


මල් නැති උයන මේ කතා හතෙන් මා තදින්ම සිත්ගත් කතාවයි.


මල් නැති උයනේ තනිකඩයා අපට හමුවන්නේ ඔහුගේ පියාගේ මලගමට පැමිණි ගමේ අයගේ සිතුවිලි තුලිනි.  ඔහුගේ මියගිය පියා ගමේ ප්‍රභූවරයෙකු වන අතර ඔහුට සහෝදරයින් දෙදෙනෙක් සිටී.  ඔහු මැදියා හෙවත් මද්දුම මහත්තයා ය.  අපට කතාව කියා දෙන්නේ ගම හැරදා කොළඹ ගිය මියගිය ඉස්කෝලේ මහත්තයාගේ ගෝලයෙකි.  71 කැරැල්ලේ සැක කරුවෙකු හැටියට ගෙදරටම විත් පොලිසියට ගෙන ගිය ලැජ්ජාවෙන් පසු මද්දුම මතත්තයා ගමට ආපසු නො එයි.  ඔහු සමසමාජ පක්ෂයෙන් වෙන්වූ කුඩා පක්ෂයක කටයුතු වෙනුවෙන් තම මුළු කාලය යොදවයි. එම පක්ෂ කටයුත්තකට ඉන්දියාවට ගිය ඔහුට තම පියාගේ අවමංගල්‍යයට ඒමටද නොහැක.  ඔහුගේ සහෝදරයින් දෙදෙනා බිස්නස් කරන ගමෙන් පිට වසන වෛද්‍යවරයින් දෙදෙනෙකි.  ඔවුහු මලගමට පැමිණ සිටියද ගම්මුන් අතර ඔවුන් ගැන ප්‍රසාදයක් නොමැත. 

"ගමෙන් පිටට එක කතාවකට වැඩිය දෙන්න වුවමනාවක් නෑ.  මම දොස්තරලා දෙන්නත් එක්ක අද රෑට කතා කරනවා" යි වෙද මහත්තයා අප සමග ගේට්ටුව දෙසට එමින් කීවේය."

මද්දුම මහත්තයාගේ පැරණි පෙම්වතිය අවමංගල්‍ය කොමිටියේ සභාපති වෙදමහතාගේ දියනියයි.  ඇය අපට හමුවන්නේ මෙසේය.

"මට වැඩිකාලයක් වෙද ගෙදර හුදකලාව තැවෙන්නට ඉඩ නොලැබිණ.  හදිසියේම ආලින්දයෙන් මතුවූයේ දෙවඟනකගේ බඳු රූපකායකි.  වෙද මහත්තයාගේ එකම දියණිය වූ ඇය දුටු සැණින් මම බංකුවෙන් නැඟිට සිට ගතිමි.  කෝපි බන්දේසිය රැගෙන මා වෙත සම්ප්‍රාප්ත වන ඇයගේ දෙපා අල්ලා වඳින තරමේ ආවේගයක් මා තුල උපන්නේ ය.  විපුලසේන ඇය හැඳින්වූයේ සුදු නෝනා යන ස්නේහබර නාමයෙනි."

"මද්දුම මහත්තයා සිරි කාලකණිණියෙක්! ... යි විපුලසේන සුදු නෝනා වෙතින් දෙඇස් ඉවත් කර නොගෙනම කීවේය."

[මෙම "සිරි කාලකණ්ණියෙක්" යන්න මට අසාපුරුදු දෙයක් නොවින.  එය මුද්‍රණ දෝශයක්ද (කණගාටුවට මෙම පොතෙහි සුළු මුද්‍රණ දෝශ තිබේ.) නැතහොත් මෙවැනි ව්‍යවහාරයක් තිබේ දැයි සොයා බැලීමේදී සිරි කාලකණ්ණි ජාතකය හමුවිය.  ව්‍යවහාරයේ බහුලව ඇති "පිංගුත්තරයා" මෙතැනට වඩා උචිත බව මගේ හැඟීමයි.  

මද්දුම මහත්තයා පිංගුත්තරයෙක්!]

පැහැදිලි ලෙසම සුදු නෝනාට ගමෙන් වෙන කෙනෙකු සොයා ගැනීමේ අපහසුවක් නැත.  

මට හිතෙන විදිහට සුදු නෝනාද තමන් ගේ හිතේ හැටියට තීරණ ගතහැකි ස්වාධීන චරිතයකි.  එනයින් "මද්දුම මහත්තයාගේ පැරණි පෙම්වතියක් වූ ඇය විවාහ වන වයස පසු කොට සිටියාය." යන කියමන ගමෙහි ඇති ගතානුගතිකත්වයට ඇය පෙනෙන අයුරුය.  මට හිතෙන හැටියට ඇය විවාහ වන වයස පසු කොට නැත.  ඇයට වුවමනා නම් අපට කතාව කියන්නා හෝ විපුලසේන හෝ වෙන අයෙකු හෝ සමග ලෙහෙසියෙන්ම විවාහ විය හැක.  මෙම කියමන "නරියා සහ මිදි වැල" වැනි කතාවකි.

මිය ගිය ඉස්කෝලේ මහත්තයා තම ජීවිතයේ අවසාන කාලයේ දී "තනිකඩයෙක්" වූවෙකි.  

"දුක් නොවිඳ" මියගිය නමුදු අවසාන කාලයේ දී ඉස්කෝලේ මහත්තයා දූ දරුවන්ගෙන් දුරස්ථව, හුදෙකලාව කාලය ගෙවූ බව ගමට රහසක් නොවීය.  ඔහු කඩපිල්වල නිකරුණේ බලා සිටියේ ය.  සෑම ඉරිදාවකම කඩමණ්ඩියේ පැවැත්වූ පොළෙහි එහා මෙහා යමින් රස්තියාදු වුණේ ය.  අමුතු ඇසුරක්, හදිසි සම්ප්‍රාප්තියක් බලාපොරොත්තුවෙන් මෙන් මා ඔය තොටුපොළේ රැඳී සිටියේය.

මා වඩාත්ම සිත් ගත් දෙබස ඇතිවූයේ මිතුරන් දෙදෙනා අතරය.  මෙම සංවාදය තුලින් එරික් ලංකා නවකතාවේ ඉතිහාසයට අප ගෙන යයි.

පනහ හැට දශක දෙකේ සිංහල නවකතාවේ නිරූපනය වුනු බෝධිසත්වයාට මොකද වුනේ?  ගම්පෙරළියේ තිස්ස, විරාගයේ අරවින්ද, යළි ඉපදුණු රණතුංග, හෙවනැල්ලේ ජිනදාස, ...

මගේ කතාව ඇසූ විපුලසේන මා දෙස බැළුවේ මා දවා කළු කර දමන කෝපයකිනි.

උන්ද?... ඒ හීරළුවෝ, සල්ලාලයෝ, පාදඩයෝ, නෂ්ටකාමකාරයෝ, හෙවනැලි ඇද උන්, මධ‍යම පංතියේ ලොකු පුතාලා, දෙලොවට නැති යක්කු, ජපන් කාම කතාකාරයෝ ... ඔය සනුහරේම දැන් මිය පරලොව ගිහින්.  බොරු නවකතා ලියලා උන්ට පණ දෙන්න එපා.

"බලාගෙන ගියාම මද්දුම මහත්තයා කියන්නේ ශාස්තෲ වරයෙක්. එයාගේ ඒ ගමන යුගාන්තයේ මාලින්ගේ ගමනට වඩා සම්පූර්ණයෙන් වෙනස්." යි මම කීවෙමි.

මද්දුම මහත්තයා ගැන තෙරුම් නොගෙන් අපිට අප ගැන තේරුම් ගන්න බෑ.  උන් තමයි ෂඩ් සාස්තෲවරු, පරණ උන්ට වගේම මේ ශාස්තෲවරුන්ටත් අනුගාමිකයෝ ඉන්නේ ටිකයි.  ඒ නිසා පෙනුම අඩුයි.

"ඕකද ඔය ලියන්න හදන නවකතාව?" විපුලසේන උපහාසයෙන් ඇසුවේ ය.

මගේ නවකතාවට පිටදුන් කාරණා හා ධාරණා පිළිබඳව මම විපුලසේනට වහවහා අනාවරණය කලේ ඔහුගේ ප්‍රතිකියා පිළිබඳව අබ මල් රේණුවකුදු තැකීමක් නොකරමිනි.

අභීත හුදකලා ප්‍රයත්නයකට අවැසි ජවය මා තුළ ඉපදී තිබිණ.  විලම්බ්භීත හාමු හෙවත් දොන් කුහෝට්ගේ වික්‍රමයන් මට සිහිපත් විය.

මෙම විශිෂ්ඨ කෙටිකතා තුල පැය ගනනක් වුවද ගිලී සිටිය හැක.  මම මේ සටහන ලියන අතර මෙම කතා දෙතුන් වරක් කියැවීමි.  ඒ සෑම වතාවකම මීට කලින් නොදුටු කෝණයක් හෙලි විය. එයම මෙම කතා වල විශිෂ්ඨත්වයේ ලකුණකි.  


No comments:

Post a Comment