Wednesday, September 8, 2021

හඳ සාක්කි කීම

කතෘ: මාර්ටින් වික්‍රමසිංහ
ප්‍රකාශක: සරස 2010


වික්‍රමසිංහ මෙම කෙටි කතා පොත ලියා ඇත්තේ 1946 දීය.  ඒ කාලයේ ගම් පැතිවල පාරවල ගිය කරත්ත ප්‍රමාණය වාහන ප්‍රමාණයට වඩා වැඩිය.  (කොලඹ හා ආසන්න පැතිවල පවා අතුරු පාර වල වාහන වැඩිවෙන්නට පටන්ගත්තේ 1977 න් පසුවය. හෝර්ටන් ප්ලේස් 1977ට පෙර වාහන තදබදයක් තිබූ පාරක් නොවේ.  වාහන ගියේ ඉඳ හිටය.  බොරැල්ල හා බොරැල්ල අවට ප්‍රදෙශයේ කලර් ලයිට් තිබුනේ එකම එක් ස්ථානයක පමණි.  ඒ කාසල් වීදිය ඉවර වෙන තැනත්, හෝටන් ප්ලේස් පටන්ගන්නා තැනත්, හා බොරැල්ලනාරාහේන්පිට පාර හමුවෙන තැනත් පමණි.  දැන් දවාලට හෝටන් ප්ලේස් කාර් පාක් එකක් මෙන් වාහන වලින් පිරී ගොස් ඇත.)  මේ කතා කියවිය යුත්තේ 1940ස් ගනන් වලට හැකි පමණින් මනස ගෙනයාමෙන් අනතුරුවය.


“ලේලී” කතාවේදී දුක් මහන්සියෙන් ධනවත්වූවෙක්ට ඒ නිසා ඒ කාලේ විඳින්නට වූ කරදර කැටිකොට ගත් කථාවකි.  ගමෙන් එකතුකොටගත් ලනු ඒ ගමෙහි සිටි තොග වෙලෙන්දාට විකුණා අරපරිස්සමින් පොහොසත්වූ කතෝනිස් පසුව තමාම තොග වෙලෙන්දෙකු සේ තවතවත් ධනවත් විය.  පසුව දුප්පත් වූ පළමු තොග වෙලෙන්දාගේ දුව තම ලේලී කර ගැනීමටද කතෝනිස් ධනවත් වී සිටියේය. එහෙත් ඒ ධනවත් කමත් සමගම පවුලේ අසමගිකම් වැඩි වෙන්නට පටන් ගත්තේය.  ලේලී කපටිකමින් ගමේ මිනිසුන්ගේ සිත තමන්වෙත හරවා ගන්නා ආකාරය අපූරුය.


සුද්දාගේ කාලයේ ධනවත් වූ පවුලක පුත්‍රයා එම පවුලේ ධනවාදී හා සුද්දන්ට ගැති ප්‍රතිපත්ති වලට එරෙහිව කැරලි ගසයි. ඔහුය එම කතාවේ “සමාජ වාදියා”.  මෙය දැන් කාලේට හරියන කතාවක් දැයි නොදනිමි.


හඳ සාක්කි කීම තුලින් මුහුද අයිනේ ගරාවැටුනු ගෙයකට අරක්කු බීම සඳහා එක්වුනු පස්දෙනෙකුගේ කයිවාරු අතරින් එක් කතාවක් දිග හැරයි.  මේ ආකාරයේ ගරා වැටුනු ගෙවල් 1970 ගනන් දක්වා දකුණේ මුහුද අයින් වල මා දැක ඇත.  දැන් එවැනි ගෙවල් තියා පාරේ සිට මුහුදු වෙරල වුවද දකින්නට ලැබෙන්නේ ඉඳ හිට ය.


ඉගෙනීමට දක්ෂ තරුණ භික්ෂුවක් පන්සලේ හවසට දකින්නට ලැබෙන රාගය අවුස්සන දේ මගින් පෙළෙඹවීමට නතු වීම නිසා වෙන අබැද්දියක් "තරුණ භික්ෂුව" කතාවෙන් හෙලි වේ.  මෙය නම් වර්තමානයේත් සිදුවිය හැකි කතාවකි.


මෙහි ඇති හොඳම කතාව මුදියන්සේ මාමා ය.  ඒ කාලේ ධනවත් වූ පවුලේ කෙනෙකු ගැන පවුලේ අනෙක් ඥාතීන් ආඩම්බර වීමත්, එම ධනපතියාගෙන් උපදෙස් හා උදව් බලා පොරොත්තු වීමත්, එම ධනපතියාට එම අපේක්ෂා ඉටු කිරීමට නොහැකි වීමත් හරහා පවුල් අවුල් වීමක් මෙම කතාවෙන් හෙලි වේ.  අමරසේකරගේ ගමණක මුල පොත් පෙල කියෙව්වේ නම්, මෙම තත්වය එම කතා වලදීද දකින්නට හැක.  මෙම තත්වය තවමත් දකුණේ පවුල් අතර තිබේ දැයි නොදනිමි.  එහෙත් 1980 ගනන් දක්වා මෙම තත්වය තිබූ බව දනිමි.  


මවගේ අසනීපය සංකීර්ණ කතාවකි.  මවට ඇති අසනීපය කුමක් දැයි වෙදුන්, දොස්තර වරුන්, හා යකදුරන් දන්නේ නැත.  මෙම නොදන්නා අසනීපය සුවකිරීමට ඇගේ දූ දරුවන් සියළු අයුරින් වෙහෙසෙයි.  එහෙත් ඒ කිසිවකින් ඔවුන්ට ලෝකයාගෙන් හොඳක් අසන්නට නොලැබේ.  මෙය ලංකාවටම ආවේනික වූ කතාවකි.  දැන් කාලේ අසනීපය කුමක් දැයි සොයාගැනීමට හැකි තරම් විද්‍යාව දියුනු වූවත් ලෝකයාගේ සාධාරණ හෝ අසාධාරණ විවේචන නම් තවමත් පවතී.


හොඳ කෙටිකතා පොතකි. 


No comments:

Post a Comment