Monday, December 18, 2023

රත්තරන් නෙළුම් මල්

කතෘ: ඇරැව්වල නන්දිමිත්‍ර
ප්‍රකාශක: ගොඩගේ 2013 (දෙවන මුද්‍රණය) 


ඇරැව්වල නන්දිමිත්‍ර මට මග හැරුණු ලේඛකයෙකි.  මම ඔහු හඳුනාගත්තේ මේ මෑතකදී කියවන්නට යෙදුනු ඔහුගේ නවකතාවක් වන "මිහි සරණ" තුලිනි.  "මිහි සරණ" නම් විශිෂ්ඨ නවකතාවකි.  මා මේ පොත මිලදී ගත්තේ ඒ මතකය තිබූ බැවිනි.


මෙය කෙටිකතා පොතකි.  "සුදුමැළි සඳ එලිය", "කොහා හඬයි -- හඬ නොඇසෙයි", "රත්තරන් නෙළුම් මල්", “ග්‍රාමයට සම්ප්‍රාප්ත වූ ප්‍රාඥයා", "තටු දා ගිය පක්ෂියෙක්", හා "ආන්ත්‍රාවයි" යනු මෙහි ඇති කෙටිකතා හයයි.


පාසැල් වියේදී ඇළුම් කල, දැන් හොඳට මතකයෙන් ගිලිහී ගිය කාන්තාවකගෙන් ඔහුට ලිපියක් ලැබේ.  දැන් ඔහු කසාද බැඳ සාර්ථක යුග දිවියක් ගත කරන්නෙකි.  එහෙත් පැරනි "පෙම්වතිය" ගේ ඉල්ලීම උදෙසා ඇය හමුවීමට ඔහු තීරණය කරයි.  "සුදුමැළි සඳ එලිය" නම් වූ මේ කතාව මේ පොතෙහි ඇති මා හිත් ගත් හොඳම කෙටිකතාවයි.


අක්කර භාගයක පමණ ඉඩමක ගරාවැටෙමින් තිබෙන ගෙය තුල සිටින් මහළු අඹු සැමි යුවල අක්කරයක් පමන වූ යාබද ඉඩම හිමි මුදලාලී නවීන විසල් ගෙයක් සාදනු මවිතයෙන් බලා සිටිති.  සිංහල අවුරුද්දට ගෙට ගෙවැදුනු මුදලාලී සහ පවුල හා මහළු අඹු සැමි යුවල අතර දැන හැඳුනුන් කම් ඇතිවීමට හැකිද?   "කොහා හඬයි -- හඬ නොඇසෙයි."


නිදන් හොරුන් ගැන කතාවකි "රත්තරන් නෙළුම් මල්".  ගෙවල් විකුණා රටහැර ගිය ප්‍රාඥයා විසි අවුරුද්දකට පසු ගමට එයි.  “ග්‍රාමයට සම්ප්‍රාප්ත වූ ප්‍රාඥයා”ට අත් විඳින්නට වෙන්නේ නොසිතූ ඉරණමකටයි.


දෙපාර්තමේන්තුවේ සිටින එකම ඉංග්‍රීසි යතුරු ලියන්නා ඔහුය. පවුලේ ඇති යම් දුශ්කරතාවක් නිසා විවාහයක් ගැන සිතීමට පවා අමාරුය.  එහෙත් දෙපාර්තමේතුවට අළුතින් ආ ඉංග්‍රීසි යතුරු ලියන්නිය ඔහුගේ යටපත් කල සිතුම් අවධි කරයි.  "තටු දා ගිය පක්ෂියා" ඔහුද?


මෙහි අවසාන කතාව වන "ආන්ත්‍රාවයි" කතාවේ කතා නායකයා වටහා ගන්නට අපහසු චරිතයක් ඇත්තෙකි.  එහෙත් මෙය මෙහි ඇති තවත් සාර්ථක කෙටිකතාවකි.  


මෙම කතා හයේම පාහේ ඇත්තේ 1977 ට පෙර තිබූ සමාජය, 1977 න් පසු සීඝ්‍ර වශයෙන් වෙනස් වීම තුල එම "ව්‍යසනයට" මුහුණ දෙන චරිත වල කතාය.  පොත කියවා අවසන ලංකා සමාජයේ සීග්‍ර පරිහානිය ගැන පසුතැවිල්ලක් මා තුල ජනිත කිරීමට තරම් මේ කතා සංවේදී විය.


ඇරැව්වල නන්දිමිත්‍ර ගේ අනෙක් පොත්ද සොයාගෙන කියවීමට බලාපොරොත්තු වෙමි.


No comments:

Post a Comment