කතෘ: පියසීලි විජේමාන්න
ප්‍රකාශක: ගොඩගේ (දෙවන මුද්‍රණය) 2016
මෙය 1986 දී පමණ ලියන ලද කෙටිකතා පොතකි. මෙහි "තාප්පයක කතාව", "ගඟ දෙගොඩින් ගලා ගියා", "අසරණයෝ", "ඔවුහු මග බලා සිටිති", "වංක ගිරිය", "ගුරුවරයා" හා "නැතිවූ මාලය" නම් වූ කෙටිකතා හතක් ඇත.
මෙහි මුල්ම කතාව වූ "තාප්පයක කතාව" එතරම් මා සිත් ගත්තේ නැත. එයට හේතුව එය ඉතා අතාත්වික කතාවක් ලෙස හැඟුණු බැවිනි. කතුවරිය පෙරවදනේ මේ කතාව ගැන මෙසේ කියයි.
මේ කෘතියේ "තාප්පයක කතාව" නම් කෙටිකතාව මීට වඩා සංක්ෂිප්ත ව ඉදිරිපත් කළ හැකිව තිබුණේ නොවේදැයි කෙනෙකුට තර්ක කල හැකි ය. එහෙත් එසේ කලේ නම් මේ කතාවෙන් මා බලා පොරොත්තු වූ අදහස ඉෂ්ට නොවේ. ඇත්තෙන් ම ප්‍රථමයෙන් මා මේ කතාව සකස් කලේ ඉතා කෙටියෙනි. ටිකෙන් ටික තාප්පයක අවශ්‍යතාව ඇති වූ අයුරු ඒ මුල් කතාවේ හෙළි නොවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 'චූටි අයියා' අධමයෙකු ලෙස කැපී පෙනුණි. කිසියම් පුද්ගලයකු අධමයකු ලෙස නිරූපණය කිරීමට මට හිත් නොදෙයි. එසේ ම මා මේ කතාවේදී සහෝදරයන් දෙදෙනාගේ චර්යාවනට මැදි වූ සහෝදරියන් ගේ සංවේදනා වැදගත් කොට සැලකුවෙමි. ඇගේ අධිකාරිත්වය යටතේ කතාව ඉදිරිපත් කෙරුණේ එහෙයිනි.
මෙහි ඇති "ඔවුහු මග බලා සිටිති" කෙටිකතාව විශිෂ්ඨ කෙටිකතාවකි. එය දුක්මුසු කතාවක් වුවද එය ලියා ඇති ආකාරය ගැන සතුටු නොවී සිටිය නොහැක.
“වංකගිරිය” කතාවේදී පියසීලී (කතු තුමිය) පාරවල් වරද්දා ගත්තාදැයි සිතේ. මට නම් ඒ අවුල නිරාකරණය කර ගැණීමට නොහැකි විය. මේ කතාවේ මුලදී ප්‍රේමා (ප්‍රධාන චරිතය ) නිවහන බලා යාමට විජේරාම පාරට හැරුණා ය. ඇය විජේරාම—බෞද්ධාලෝක හන්දියට පැමිණ පාර පැන නාරාහෙන්පිට පැත්තට හැරුනාය.
බෞද්ධාලෝක මාවත පැන විජේරාම මාවතේ කෙලින්ම යන්නේ නම් "නාරාහේන්පිට පැත්තට" යනවා යන්න සිතා ගත හැක. කතාව කියවන විට මට හැඟුනේ ඇය බෞද්ධාලෝක මාවතේ එක් පැත්තකට හැරුණු බවකි. කෙසේ වෙතත් මෙය මට අපහසුවක් වුවත් වෙනත් කෙනෙකුට අපහසුවක් නොවන්නට බොහෝ විට ඉඩ ඇත.
මෙහි ඇති සෑම කෙටිකතාවක් ම ඉතා හොඳය. හොඳම කතාව "ඔවුහු මග බලා සිටිති" ලෙසටත් හොඳ අඩු කතාව "තාප්පයක කතාව" ලෙසත් වර්ග කරමි.
දෙවන මුද්‍රණය ට ලියූ පෙර වදනේ කතුවරිය මෙසේ කියයි.
වංකගිරිය නැවත කියවන විට සමාජය කොපමණ වෙනස් වී තිබේ දැයි මට පුදුම සිතුණි. නිර්මාණ කෘති ඔස්සේ ම සමාජ විපරිණාමය හඳුණා ගත හැකි බව මට පසක් විය.
පියසීලි විජේමාන්න අති දක්ෂ ලේඛිකාවකි.
No comments:
Post a Comment