Thursday, December 21, 2023

විද්‍යාව ඉගැන්වීම

කතෘ: එන්. වී. කරුණාසේන

ප්‍රකශක: කතෘ ප්‍රකාශණයකි 2000



එන්. වි. කරුණාසේණ යනු කොළඹ විශ්ව විද්‍යාලයේ, අධ්‍යාපන පීඨයේ විද්‍යා හා තාක්ෂණ අංශයේ සේවය කොට විශ්‍රාම ගිය හිටපු මහාචාර්ය වරයෙකි.  ඔහු හා මා විශ්ව විද්‍යාලයේ එකට සිටි සිසුන් බැවින් මා ඔහු හඳුනන්නේ සෑහෙන කාලයක සිටය.  එහෙත් එකම විෂය පාදක කරගත් මේ පොත හා 2016 දී ලියන ලද තව පොතක් ගැන මා දැන ගත්තේ මීට මාසයකට පමණ පෙර ය.  මේ පොත් දෙකම අත්සන් සහිතව මා වෙත දීම ගැන කරුණාසේන මහතාට කෘතඥ වෙමි.


මේ විෂය ගැන ලංකා කතුවරයෙකු විසින් ලියන ලද පොතක් මා දුටු පළමු වතාව මෙය ය.  ඒ අනුව මා හිතන්නේ මෙවැනි පොත් ලංකාවේ එහරම් සුලභ නොවන බවයි.  එනිසාම මෙය ඉතා වැදගත් පොතක් වේ.


පොතේ හැඳින්වීමේ මුලින්ම කතුවරයා විද්‍යාව ඉගැන්වීම කුමක්දැයි මෙසේ විස්තර කරයි.


විද්‍යාව ඉගැන්වීම බහු ස්වරූප ගත් ක්‍රියාකාරිත්වයකි.  එය විද්‍යාඥයන් විසින් මෙතෙක් අනාවරණය කරන ලද දැනුම් සම්භාරය පවරා දීමකට වඩා, විද්‍යාවේ ක්‍රම ශිල්ප, විදුහුරු ආකල්ප හා විද්‍යාත්මක චින්තන රටාවක් ගොඩනැගීමේ ප්‍රයත්නයක් ද වේ.


කොටස් දෙකකට බෙදා ඇති මෙම පොතෙහි පළමුවන කොටසින් "විද්‍යාවේ ස්වභාවය" හා දෙවන කොටසින් "විද්‍යාව ඉගැන්වීම" ගැන තොරතුරු හෙලිදරව් කර ඇත.  


මෙහි දෙවන කොටසෙහි ඇති "ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය" නැමැති පරිච්චේදයෙන් ලංකාවේ විවිධ කාල වල විවිධ පාලකයින් විසින් වෙනස් කම් ව්ලට භාජනය කරන ලද ලංකා විද්‍යා අධ්‍යාපනය ගැන ලබා ගත් අවබෝධය මට නැවුම් විය.


විශාල ග්‍රන්ථ මාලාවක් පරිශීලනය කොට ලියන ලද ග්‍රන්ථයකි මෙය. මෙය ලංකාවේ මේ විෂය ගැන උනන්දුවක් තිබෙන අයට කියවන්නට ලැබෙනවා නම් හොඳ යැයි සිතේ.


මේ පොත ලියා ඇත්තේ මීට අවුරුදු 23 කට පෙරය.  මෙම විෂය පිළිබඳ මතවාද කාලයෙන් කාලයට වෙනස් වන බැවින්  මෙය කිය විය යුත්තේ 2000 දී ලෝකයේ මේ විෂය ගැන තිබූ ආකල්ප සිහියේ තබා ගෙන ය.  එහෙත් කවදාවත් වෙනස් නොවන වා යැයි මට සිතෙන, "විද්‍යාත්මක ක්‍රමය" ගැන හොඳ අදහසක් ඔබට මෙම පොතෙන් ලබා ගත හැක.  සෑම අවස්ථාවන්හිදීම භාවිතා කල හැකි මෙම "විද්‍යාත්මක ක්‍රමය" ගැන ලංකාවේ බොහෝ දෙනෙකුට සැලකිය යුතු දැනුමක් නොමැති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය.


කරුණාසේන මහතා 2016 දී ලියා ඇති "ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව" පොත ඉක්මනින් කියවීමට බලාපොරොත්තු වෙමි. 

No comments:

Post a Comment