Thursday, February 16, 2023

පෑදි දියට බොර දිය

කතෘ: . වී. සුරවීර 
ප්‍රකාශක: ගොඩගේ (එකලොස්වන මුද්රණය) 2015


කතු තුමා එක් දහස් නවසිය හැත්තෑවේ දී මුල් මුද්‍රණයට ලියූ පෙරවදනේ මෙසේ ලියයි.


නවකථාව මෙන්ම කෙටි කථාවද හුදෙක් විනෝදාස්වාදය අපේක්ෂාවෙන් සැහැල්ලුවෙන් කියවිය යුතු කථාංග ලෙස සැලකූ යුගය ඉක්ම ගොස් ඇත. එහි යථානුරූප රස වින්දනයට නම් බුද්ධිය මෙහෙයවා සන්සුන් කියවිය යුතු වන්නේය.


මගේ පළමු පොතේ මෙන් මෙහි ඇතුලත් කථා ලිවීමේදී වස්තු වශයෙන් පමණක් නොව කථා කලාව අතින්ද නොයෙක් අත්හදා බැලීම් කර ඇත්තේය. හැම ලේඛකයාම එසේ කරනු ඇතැයි හඟිමි. විවිධ සූක්ෂම ප්‍රයෝග හඳුනා ගැනීම සාමාන්‍ය පාඨකයාටත් වඩා විචාරකයාට පැවරෙන කාර්‍ය්යක් වෙයි.


මෙහිදී යමක් කිව යුතුය. මට කථා කලාව ගැන හෝ විචාර කලාව ගැන කිසි දැනුමක් නැත. ඒවා ඉගනගැනීමට උද්යෝගයක් හෝ වේලාවක්ද නැත. (ලඟදී කවියෙකු හා ඇසුරු කිර්‍රමට ලැබී ඇති හෙයින් කවි කලාව ගැන උද්යෝගයක් ඇතත් එය ඉගන ගැනීමටද වේලාවක් සොයා ගැනීම අපහසුය.) එබැවින් කතු තුමාගේ "එහි යථානුරූප රස වින්දනයට නම් බුද්ධිය මෙහෙයවා සන්සුන් කියවිය යුතු වන්නේය." යන උපදෙස හිතේ තියාගෙන මෙම පොත කියෙව්වත්, මෙම සටහන අනුව ලිවීමට කල අදහස එතරම් සාර්ථක නොවූ බව මගේ හැඟීමයි. මේ හැමටම හරහට ඉන්නේ කාලය නොමැති කමයි.


මෙම පොතෙහි අටවැනි මුද්‍රණයේ පෙරවදනේදී ඔහුට උපකාර කල අරංගල නමැති කථිකාර්යවරයෙකු ගැන සඳහන් කරයි. මෙම රත්නසිරි අරංගල දැන් ජ්යේෂඨ මහාචාර්ය වරයෙකු වන අතර ඔහු මෙම ජනවාරි පලවෙනිදා කල "පරණවිතාන සැමරුම් දේශනය" විශිෂ්ඨය. යමෙකුට පැය තුනකට ආසන්න එම දෙශනය අසන්නට කුහුලක් ඇතිනම් අය සඳහා එම දේශනයේ ලින්කුව මෙම සටහන අගට එකතු කරමි.

මෙහි කෙටි කථා අටක් ඇත. ඒවා නම් වශයෙන් "අකුරට යන වෙලාවේ", "පෑදිදියට බොරදිය", "පොඩිසිඤ්ඤයියා", "දෙගිඩියාව", "වෙසෙත් අඟනෝ නොතින් වීමෙන්", "නොරත රත", "තමන්ගේ දරුවෝ", සහ "මමංකාරය" වන්නේය.


"අකුරට යන වෙලාවේ" දී අගනුවර පාසැලකට යවන බවට බොරු පොරොන්දු දී ගෙදර වැඩට ගන්නා කෙල්ල තමන්ගේ දූවරුන්ට වඩා ඉගෙනීමට දක්ෂ බව වටහා ගත් බද්‍රා, සුබද්‍රාවතී මැණිකා කියා නම් තබයි. මෙය ලංකාවේ පසුගිය දසකයේ මුල සිට පැවැති චාරිත්‍රයකි. උඩරට කුලවතුන් හා කුලවතියන් හැඳින්වීම සඳහා භාවිතා කල "මැණිකේ" සහ "බණ්ඩා" යන නම් පහත රැටියන් විසින් තම මෙහෙකාර මෙහෙකාරියන් හැඳින්වීමට භාවිතා කොට එම නම් හෑල්ලුවට පත් කලෝය. සුබද්‍රාවතී පාසැල් නොයන බව දැනගත් ඇගේ අම්මා ඇය කැඳවාගෙන එන ලෙස ඇගේ පියා යවයි. ගමේ පාසැලෙන් ඉගෙන වෛද්‍යවරයෙකු වීමේ සම්භාවිතාව අඩු බව දන්නා සුබද්‍රාවතී මෙයට අකමැති වෙයි. එහෙත් අගනුවර පාසැලකට නොගොස් වෛද්‍යවරයෙකු වීමේ සම්භාවිතාව බිංදුව බව නොහැඟෙන තරමට ඇය තබා ගත් බලාපොරොත්තු ඇය අන්ධ කරවයි. මෙය ලිපෙන් කබලට යෑමක් වැනිය.


මෙහි ඇති සෑම කථාවක්ම කතුතුමා කී ලෙසම යථානුරූපී (realistic) . මෙහි සෑම කථාවක්ම "රසවත්" වන අතර "පොඩිසිඤ්ඤයියා", "දෙගිඩියාව", හා "තමන්ගේ දරුවෝ" මා වඩාත් සිත්ගත් (හෝ සිත සසල කල) කථාය.


වැදගත් කෙටි කථා පොතකි.


No comments:

Post a Comment