Wednesday, January 6, 2021

පේරාදෙණි ගුරුකුලය සහ ගුණදාස අමරසේකර

කතෘ: චින්තක රණසිංහ
ප්‍රකාශක: සූරිය 2009

මෙම පොතෙහි අරමුණ වන්නේ පේරාදෙණියේ ගුරුකුලයේ කාර්‍යභාරය කුමක්ද යන්න න්‍යායාත්මකව (theoretically) පැහැදිලි කිරීම යැයි කතුවරයා පවසයි.

“පේරාදෙණි ගුරුකුල” යක් තිබුනේ නැතැයි එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙසේය.  “පේරාදෙණි ගුරුකුලයක් ගැන සමහරු කතා කළහ.  එහෙත් එබන්දක් නොතිබුණි.  මගේ ශිෂ්‍යයන්ට මම සාහිත්‍ය විචාරය ඉගැන්වූයෙමි.  හැම දෙයක් ගැනම තර්කාණුකූලව සිතීමට පුරුදු කලෙමි.  පේරාදෙණි සාහිත්‍යය යැයි කිසිවක් තිබේනම් එහි නිර්මාතෘවරු කවුරුන්ද? නිර්මාණාත්මක කතුවරුන් අතර පේරාදෙණියට සම්බන්ධ වී හුන් තිදෙනා නම් සිරි ගුණසිංහත්, ගුණදාස අමරසේකරත් හා මමත් ය.  එහෙත් අපි තිදෙනා අත්තුක්කංසන පරවම්භන කාර්යයෙහි යෙදී සිටියවුන් ලෙස හැඳින්විය හැකිද?”


තමන් උසස් උත්තම වර්ගයේ පුද්ගලයෙකු ලෙස හඳුන්වා දෙමින් අන්‍යයා පහත් අයෙකු බව හෙළිකිරීමට උත්සාහ කිරීම බුදුසමයෙහි “අත්තුක්කංසන පරවම්භන” වශයෙන් හඳුන්වයි. තමන් සිතන, කියන, කරන, කටයුතු උදාරාර්ථයෙන්ම සලකා බැලීම අත්තුක්කංසන නම් වේ. එසේ සිතා සමාජයේ ද ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරයි.  අන්‍යයා පහත් ය යන හැඟීමෙන් කල්පනා කිරීම පරවම්භන නම් වේ.
(උපුටා ගැනීම: පාතේගම ඤාණිස්සර හිමි, බුදුසරණ) 

කතුවරයා සරච්චන්ද්‍රගේ කියමන නොපිලිගන්නා බව පොතෙහි මාතෘකාවෙන් පැහැදිලිය.  නොයෙකුත් උදාහරණ සපයමින් පේරාදෙණි "මතවාදයක්" සාහිත්‍යය හා විචාරය තුල නිර්මාණය වී ව්‍යාප්තවූ බව කතුවරයාගේ පවසයි.  ඒ සමගම සර්ච්චන්ද්‍ර හා සිරි ගුණසිංහ අතරත්, අමරසේකර හා සිරි ගුණසිංහ අතරත් නොයෙකුත් "මතවාදී ගැටුම්" පැවති බවත් කතුවරයා පවසයි.


පේරාදෙණි ගුරුකුලය විසින් කොළඹ කවීන් ඉතා තද බල ලෙස විවේචනය කල බවද කතුවරයා පෙන්වා දෙයි.  කොළඹ කවි "සමනල කවි" යනුවෙන්ද කොළඹ කවීන්ගේ මැදිහත් වීම "සමනල තටු කම්හල" යනුවෙන් විවේචනයට ලක් විය.  පසු කලෙක අමරසේකර විසින් පේරාදෙණි ගුරුකුලය ප්‍රතිවිවේචනයට ලක් කරමින් තමා ඇතුළු පේරාදෙණි සාහිත්‍යකරුවන් එක්ටැම්ගත මනස්පුතුන් යැයි සඳහන් කලේය.  එහෙත් මෙම ප්‍රතිවිවේචනයේදී වුවද අමරසේකර කොළඹ යුගය පිළිබඳ තම ආරම්භක ස්ථාවරය වෙනස් නොකල බව කතුවරයා 1966 දී පිටවූ අමරසේකරගේ "සිංහල කාව්‍ය සම්ප්‍රදාය" නැමැති පොතෙන් කල උපුටා ගැනීමකින් පෙන්වයි.


“කොළඹ කවීන් වැඩි දෙනෙකු විසින් ඉවක් බවක් නැතිව කවි කතා කීම මගින්, වාර්තා සැපයීම මගින් දහ අටමත් සිව්පදයට කරන ලද්දේ හානියකි.  පසුකලෙක බිහිවූ නිසඳැස් කවීන්ට විරිතෙන් තොර සිංහල කවියක් බිහි කිරීමට කොළඹ  කවීන් අතෙහි සිව්පදය මුහුණ දුන් දූෂණය හේතුවන්නට ඇත.

කොළඹ කවියෙන් අනතුරුව බිහි වූ නිදහස් කවිය නොහොත් නිසඳැස පහළවීමටත්, කොළඹ කවිය මෙන්ම එක්තරා පිරිසක් අතර ජනප්‍රිය වීමටත් හේතු කීපයක් වී යැයි නිගමනය කල හැක. ඒවා නම්:

1. කොළඹ කවියේ නිසරුකම හා වැරදි රෝග විනිශ්චය

2. ප්‍රචලිතව පැවති සිංහල කවිය හා බැඳී තිබුනු ග්‍රාම්‍යත්වය

3. බටහිර කාව්‍යාකෘති වල බලපෑම

4. ව්‍යාජ ප්‍රචාර සඳහා සුදුසු මඟක් වීම”

(උපුටා ගැනීම:  අමරසේකර,  සිංහල කාව්‍ය සම්ප්‍රදාය 1966 )


(සිංහල කාව්‍ය සම්ප්‍රදාය පොත ගැන හොඳ විස්තරයක් සඳහා නලීන්ද්‍ර වීර පිටියගේ සටහන කියවන්න.)

https://me-and-err.blogspot.com/2019/11/amarasekara-sinhala-poetry-trad.html


මෙම පෙරාදෙණි මතවාදය විවේචනය කල අය අතර ප්‍රධාන තැනක් ගන්නේ මාර්ටින් වික්‍රමසිංහ ය.  අනෙකුත් විචාරකයන් ලෙස කතුවරයා හඳුන්වන්නේ චන්ද්‍රරත්න මානවසිංහ හා සිසිරකුමාර මානික්කාආරච්චිය.  මානවසිංහ ගැන මා දන්නේ නැත.  “මානික්කාඅරච්චිගේ විචාර” යන්නෙහි තේරුම කුමක් වුවත් මෙවැනි පොතක ඔහු ගැන සඳහන් වීම ගැන පුදුම වෙමි.  සිසිරකුමාර මානික්කාආරච්චි “ගැලරියේ” භාෂාවෙන් “ගැලරියට ලිවූවෙක්” බවනම් මට මතකය.  කතුවරයාද මේ බව මෙලෙස පිලි ගනී. "... අවාසනාවකට අප රට පේරාදෙණි සාහිත්‍යයයට එරෙහිව මතු වූයේ ගැඹුරු න්‍යායික සංවාදයක් නොව දෛනික බැණ අඬගසා ගැනීමක් පමණි."


මේ අතර හැත්තෑ ගනන් වලදී "අපේ කට්ටිය" (සුගතපාල සිල්වා, සිරිල් බී. පෙරේරා, සුමන ආලෝකබණ්ඩාර වැනවුන්) විසින් සරස්චන්ද්‍රගේ නාට්‍ය කලාවට එරෙහිව කතිකාවක් ආරම්භ කලහ.  පේරාදෙණියෙන් පැමිණ අපේ කට්ටියට එකතු වූ සයිමන් නවගත්තේගමඅද වේදිකාවේ සිද්ධ වන හැම දේම වාගේ අපේ කට්ටියේ වැඩක්" නමින් ලිපියක් ලියා ඇත.


කතුවරයා සිතන අන්දමට පේරාදෙණි ගුරුකුලයෙන් සිදුවුනේ යටත්විජිතවාදීන් විසින් හඳුන්වා දෙනු ලැබූ ගම්නියම්ගම් පුරා දැඩි ලෙස ව්‍යාප්තව තිබූ වික්ටෝරියානු පවුල් ඒකකයට පහර ගැසීමකි.  පේරාදෙණි ලේඛකයෝ එකල වික්ටෝරියානු පවුල් ආකෘතියට එරෙහිව සටන් කළ ඩී. එච්. ලෝරන්ස්ගෙන් ප්‍රභල, ශක්තිමත් ආභාශයක් ලබා ගත් බව කතුවරයා තර්ක කරයි.  අමරසේකරගේ "දෙපා නොලද්දෝ", "යලි උපන්නෙමි", "කරුමක්කාරයෝ" යන නවකතා මෙම තර්කයට උදාහරණ ලෙස සැලකේ.  “කරැමක්කාරයෝ” නවකථාව ගැන මහාචාර්ය සිරිමාන්න මෙසේ පැවසූ බව සඳහන් වේ.

 

“කතාවේ කලාත්මක සාර්ථකත්වය කෙසේ වෙතත් අමරසේකර මෙම කතාවෙන් සිංහල නවකථා කලාවේ විප්ලවයක් කලේය. කරුමක්කාරයෝ කියවූ අපේ මධ්‍යම පංතික කුහකයෝ කම්පා වූහ.  මෙවැනි දේ පොත්වල අච්චු ගස්සනවාදැයි මවිත වූහ.  ඩී. එච්. ලෝරන්ස්ට එංගලන්තයේදී මුහුණ දෙන්නට වූයේ ඊට වඩා විශාල කම්පාවකටය.”


මාණික්කාඅරච්චි මෙන් පටියට පහලින් (below the belt) පහරදෙන්නෙකු නොවන මාර්ටින් වික්‍රමසිංහ පේරාදෙණි ගුරුකුලය විවේචනය කලේ මෙසේය.


"යලි උපන්නෙමි", "හෙවණැල්ල", "පරාජිතයෝ", "අප්‍රසන්න කථාවක්" "හෙවනැලි ඇද මිනිස්සු" යන කථා බෞද්ධ ජීවිතය අල්ප දෘෂ්ටියකින් උපහාසයට  හසු කරයි.  ඒ කථා කාරයින් බෞද්ධ ජීවිතය ලෙස සලකන ලද්දේ යති ජීවිතය හා එය අනුකරණයට වෑයම් කල උපාසකයන්ගේ  ද ජීවිතයයි.  එය ගිහි බෞද්ධ ජීවිතය නොවේ.  ගම්වල තරුණයෝ වල්සතුන් මරා මස්කති, රක්ෂාව උදෙසා මසුන් මරති, වැවිලි රැකගනු සඳහා කුරුමිණියන් වඳ කරති. සූදු කෙළිති. බොරු කියති.  ලැබුනු විටක මත්පැන් බොති. මේ ව්‍යවහාරික බෞද්ධ සංස්කෘතියයිලෝරන්ස්ගේ ගුඪ කාමවාදය (gruesome pornography) ගැටුනේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය සමගය.  විශ්ව විද්‍යාලයේ සමහර ඇදුරෝත් ශිෂ්‍යයෝත් මෙ ගැටුම නිසා හටගත් කෝපය පිටකිරීමට බෞද්ධ සංස්කෘතිය දොරටුවක් කොට ගනිති.


අමරසේකර පේරාදෙණි ගුරුකුලයෙන් වෙන්වී යන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ චින්තනයේ දැඩි ආභාශයෙන් යැයි කතුවරයා සිතයි.  එසේම අමරසේකරයලි උපන්නෙමි" නැවත මුද්‍රණය කිරීමට පවා එරෙහිව තම මතවාදය ගොඩනගා ගන්නේ වික්‍රමසිංහගේ මෙම විචාර සංකල්ප මත පදනම් වෙමිනැයි කතුවරයා තර්ක කරයි.  අමරසේකර "ජාතික චින්තනය" තුලින් අවිච්ඡින්න (continuous) ඓතිහාසික දැක්මට උත්සාහ කරන බව කතුවරයා "ගමගේ" නම්වූ ශාස්ත්‍රඥයෙකුගේ ලියවිල්ලක් උපුටා දක්වමින් කියයි.  මෙහිදී "ගමගේ" බෙහෙවින් 1983 න් පසුව බිහිවූ දමිල "ඉතිහාසඥයන්" ගේ මතිමතාන්තර මෙම අවිච්ඡින්න ඉතිහාසයට පහර එල්ල කරන බව පෙන්වා දෙයි.  


කතුවරයා මෙම මතය නිර්ණාමික කවිපෙලකින් ද ඉදිරිපත් කරයි.  මෙහි පහත සඳහන් වන්නේ එම කවි පෙලේ අවසාන කවි ටිකයි.


එලියට් ඔබ අපේ

මහ නිදන් කැණ එයින්

මුත්, මැණික් නෙලා

එකිනෙක රැගෙන අමුණමින්

අස්වැන්න බිහි කෙරූ


මිටි කාල වාමනය

මම ඔබට පෙම් කරමි


ජාතියේ සාපයට

බිලි කළ   මහලු විය

අර ඈත වැදි පුරෙන්

නැඟෙන නිසරු ගොස”

ඔබ දවා ලූ නමුදු

මම ඔබට පෙම් කරමි


මම මේ කතුවරයා ඉදිර්පත් කරන මතවාදය සමග එකඟ නොවෙමි.  ගෝලීය දේශපාලනයේ බලපෑමට තදබල සේ හසුවී සිටින ලංකාවට, එම බලපෑමට සුළු වශයෙන් හෝ ප්‍රතිරෝධයක් ලෙස "ජාතික චින්තනය" මම දකිමි.  එබැවින් අමරසේකර විසින් මහළුකාලයේදී තෝරාගත් මඟ වෙනුවෙන් මට කිසිම ගැටළුවක් නැත.  එසේම, අමරසේකර පරවම්භනයෙන් තොරව අත්තුක්කංසනයේ යෙදෙන්නේ නම් එහිද වරදක් මට නොපෙනේ.


පොතෙහි ඇති එක් අඩුපාඩුවක් නම් පොතෙහි සඳහන් සමහර උපුටාගැනීම් සම්බන්ධව හරිහැටි යොමුවක් නැති වීමයි.  උදාහරණයක් ලෙස කතුවරයා මතවාදයෙහි අර්ථනිරූපනය (ideology definition) ලබාගන්නේ (ජෙලීනා 2007;48) ගෙනි.  එහෙත් මේ ජෙලීනා කවුද, ඇගේ මේ පොත මොකක්ද යන්න පොතෙහි සඳහන් වී නොමැත.  මගේ අනුමානය නම් ඇය Jelena Subotić බවයි.  මට ඇගේ “මතවාදයෙහි අර්ථනිරූපනය” ඇති පොත හොයාගැනීමට නොහැකි විය.  

එහෙත්, මෙම පොත කියවියයුතු පොතක් ලෙස නම් කරමි.  අඩුම වශයෙන් දැනට මුද්‍රණයේ නොමැති "යලි උපන්නෙමි" පොත ගැන සෑහෙන්න විස්තර මෙහි ඇත.

No comments:

Post a Comment