Wednesday, January 6, 2021

පරදේසි

කතෘ: එරික් ඉලයප්ආරච්චි
ප්‍රකාශක: ගොඩගේ

පරදේසි බෙංගාලි යන වචනයේ තේරුම "ඇවිදින්නා", "සංචාරකයා", "මගියා" බව පොතෙහි කියැවෙයි.  එනයින් මෙහි ප්‍රධාන චරිතය පරදේසියෙක් වෙයි.  මෙහි කථා නායකයා "පේමතෝ ජායතී අසෝකෝ" හි කථා නායකයා හා සම වයසෙහි සිටින්නෙකි.  "පේමතෝ ජායතී අසෝකෝ" හි කථා නායකයා ද මේ අර්ථයෙන් පරදේසි යෙකි.  (ලිවීමේ පහසුව තකා "පේමතෝ ජායතී අසෝකෝ" පරදේසිකයා “ඒ පරදේසිකයා” ලෙසත් පරදේසි හී පරදේසිකයා "මේ පරදේසිකයා" ලෙසත්, මින් මතුවට හඳුන් වමි.)


“ඒ පරදේසිකයා” සාමාන්‍ය  පවුලකින් ආ, සාමාන්‍ය විද්‍යාලයකට ගිය, ජවිපෙ පන්ති පහට ගිය, ජවිපේ ඉහලට නැග සිටි කාලයේ ගැන උදම් වුනු, ජවිපෙ නිසාම අතරමං වුනු, අන්තිමේ දී ජවිපෙ ගැන කල කිරුනු, සමාජ වාදී අදහස් ඇති, හොඳට කියවා ඇති, ස්ව උත්සාහයෙන් ඉංග්‍රීසි උගත්, සහජ හැකියාවක් ඇති පුවත්පත් කාලාවේදියෙකි.


මේ පරදේසිකයා ධනවත් පවුලකින් එන, ට්‍රිනිටි විද්‍යාලයට ගිය, එන්ගලන්තයෙන් පශ්චාත් උපාධියක් හිමි, එක්සත් ජාතීන්ගේ සංගමයට වැඩ කොට ඇති,  කොළඹ ඉහල පැලැන්තියේ අය අතර ගැවසෙන, හොඳට කියවා ඇති, ඉංග්‍රීසි, ප්‍රංශ, හා සිංහල කතා කල හැකි, සහජ හැකියාවක් ඇති කැමරා ශිල්පියකි.


එනමුත් ඒ පරදේසිකයා ගේ හා මේ පරදේසිකයාගේ ගමන් මාර්ග සම්පූර්ණයෙන්ම වෙනස් ය.  මෙතැන් සිට මේ පරදේසිකයා ගේ ගමන් මග ගැන සටහන් කරමි.  මේ පරදේසිකයා ලංකාවේ නැවතී සිටගෙන පොතක් ලියන හන්ගේරියානු ලේඛිකාවකගේ වහලා (වැඩකාරයා) ලෙස කටයුතු කරන අතර බොහෝ විට යැපෙන්නේ ඇයගේ මුදලිනි.  මේ අතර අනෙක් තරුනියන් සමගද ඔහු හැසිරේ.  මෙය හන්ගේරියානු ලේඛිකාවට ඊරිසියාවට කරුණකි.  කොතරම් අකමැති වුවත් ඔහු ඇය හැරදා යන්නේ වත් ඇය ඔහු එලවා දමන්නේත් නැත.  ඒ අතර ඔහුට ලංකා තරුණියකගේ නිකරය අස්සට පෑඩි දමන්නට, ඔහුගේ පැරනි ලංකා පෙම්වතියකගේ අක්කාගේ නිරුවත් චායාරූප පරන පෙම්වතිය ඉදිරිපිටම ගැනීමට, තානාපති වරයෙකුගේ ගැබිනි බිරියගේ නිරුවත්  චායාරූප තානාපති වරයාට හොරෙන් ගැනීමට වාගේ අතිශය අසාමන්‍ය අවස්තා උදා වෙයි.


මේ අතර පොත ලිවීම අවසන හංගේරියාවට යන කතුවරිය ඇයගේ වියදමින් මේ පරදේසිකයාව කියුබාවේ ලේඛකත්ව සමුළුවකට යවයි.  එම සමුළුවට බංගලි දේශයෙන්, ලතින් ඇමරිකානු රට වලින් නමගිය ලේඛකයන් පැමිනෙන ඇතර, එහි සිටින ලේඛකයෙකු නොවන එකම තැනැත්තා මේ පරදේසිකයා යි.  එතැන් සිට ඇත්තේ හංගේරියානු ලේඛිකාවගේ මුදල් නිසා කියුබාවේ පොහොසතෙකු ගනනට වැටෙන, වංචාකාරයෙකුයැයි සිතෙන් පසුතැවිලි වෙන, එනමුත් අනෙක් ලේඛකයන් හා සමසේ හැසිරීමට හැකි, මුදල් තිබුනත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නට තතනන, මේ පරදේසිකයාගේ කතාවයි.  


මෙය කියවද්දී මීට කලින් කියවා ඇති ලතින් අමෙරිකානු නවකතා, හා මීට කලින් නරඹා ඇති ලතින් අමෙරිකානු චිත්‍රපට මගේ මනසේ මැවී ගියේය.  මේ කතාව "ඒ පරදේසිකයා" ගේ කථාව මෙන් ලංකාවේ කාගේ හෝ කථාව යැයි විස්වාස කිරීමට බැරි තරම් ය.  එහෙත් කතුවරයා "ලංකාවට අළුත්" නවකතාවක් ලියා ඇත.  මෙය බොහෝ දුරට අස්වාභාවිකයයි හැඟුනත් කතාව නීරස යැයි කිව නොහැක.  මම මේ කතාව රස වින්දෙමි.

No comments:

Post a Comment