Thursday, January 7, 2021

දෑවාන

කතෘ: සේපාලී මායාදුන්නේ
ප්‍රකාශක: ගොඩගේ 2019

කතුවරිය මෙම පොතෙහි නම ගැන සඳහන් කරන්නේ මේ ලෙසය.


දෑවාන යනු නිරන්තරයෙන් දෙපසකින් වාන් දමන සංකල්පයන් .  සිතිවිලිය.  ඇදහීම් .  ඒවා හොඳ හෝ නරක යැයි නොසිතිය යුතු .  සියල්ල සාපේක්ෂ වන හෙයිනි.


මෙම පොතෙහි පසු සඳහන් ඉතිහාස පටලවා ගැනීම් ඇත. 


(1) මහසෙන් රජ වූයේ (සිහිගිරි) කාෂ්‍යපට පසුව .


(2) උගතෙකු, බුද්ධිමතෙකු ලෙසින් ගෞරවයට පාත්‍ර වුණු මහානාම හිමිද මහසෙන් රජතුමා කුපිත වන්නට මහා වංශය ලිවීය.


ගයිගර්ගේ මහා වංශ පරිවර්තනය අනුව මහාවංශයේ අවසාන පරිච්චේදය මහසෙන් රජතුමා වෙත වෙන් කර ඇත.   ගයිගර්ගේ චූල වංශ පරිවර්තනය අනුව පසු සඳහන් වන්නේ මහසෙන් රජුට පසුව රජවූ රජවරුන් අනු පිලිවෙලටය.


සිරිමෙඝවණ්ණ

ජෙට්ඨතිස්ස

බුද්ධදාස

උපතිස්ස

මහානාම

සොත්තිසේන

සංඝා

මිත්තසේන

පණ්ඩු

ධාතුසේන

කාෂ්‍යප


එනයින් (මහා වංශයට හා චූල වංශයට අනුව) කාෂ්‍යප රජවූයේ මහසෙන්ගෙන් පසුවය.


කතාවේ සාරාංශය ගත් කල මහා වංශයට අනුකූලව ලියා ඇත.  මටත් හිතෙන විදිහට හා මහා වංශයට අනුව අභයගිරියේ ස්වර්ණමය යුගය පටන් ගත්තේ මහසෙන් රජතුමාගේ කාලයේදීය.  ධාතුසේන රජුගේ කාලය වන විට මහා විහාරය නැවත හිස ඔසවා තිබීමට හැකියැයි සිතිය හැක.  එහෙත් කාලයේදීත් අභයගිරිය ඉහලින් පැවතුනා යැයිද සිතිය හැක.  මහාවිහාරය ශ්‍රී මහා බෝධි වන්දනාව කල අතර අභයගිරිය දළදා වන්දනාව කලැයිද සිතිය හැක.  මහා විහාරිකයෙකු යැයි සැක කල හැකි මහානාම හිමි මහාවිහාරයට හිමි විහාර වල තිබූ ලියවිලි පරිශීලනය කොට මහා වංශය ලියන ලදැයි සැක කල හැක.  එතුමා මහා වංශය මහසෙන් රජුගෙන් අවසන් කරන්නට හේතුව ඊට පසු රජවූ කීර්තිශ්‍රීමේඝවණ්ණ රජුගේ කාලයේ ලංකාවට ගෙන්වූ දළදා වහන්සේ නිසා අභයගිරියටත් මහා විහාරයට මෙන් සමාන බලයක් මහජනයා තුල ඇතිවූ නිසා යැයිද අනුමාන කල හැක.


මෙම කතුවරියගේ පසුබිමත්, එතුමිය මහාවංශයේ අවසාන පරිච්ඡේදයේ ඇති කරුණු එලෙසින්ම යොදාගෙන ඇති හෙයිනුත්, මැය මේ ඉතිහාස පටලැවිල්ල වුවමනාවෙන් කල දෙයක් දෝ දැයි මට හිතින.  (මෙම ඉතිහාසය තුලට ඇය ඉතිහාසය හා නොසැසඳෙන දේ කලවම් කර ඇත.) එම සිතිවිල්ල හා මුලින් සඳහන් දෑවානෙහි තේරුමත් සැලකූ විට මැය ලියා ඇත්තේ නූතන කථාවක් දැයි මට සැකයක් උපදී.  ලංකාවේ බෞද්ධ ධර්මයට මුවාවෙන් දැන් සිදුවන නොයෙකුත් කෝලම් ඉතිහාසයට වසන් වී එලි දැක්වීමක් මෙම කථාවෙන් කෙරෙතැයි මට සිතේ.  (මෙම කතුවරිය විසින් ලියන ලද මහා සාමි කියවන විටද මට මේ සැකය පහල විය.)


මෙම කථාවට යන්තම් සම්බන්ධ කරුණක් සඳහන් කර මෙම සටහන නිමා කරමි.


මේඝවර්ණාභය සෙනෙවිරජුන් චතුරංගණී ක්‍රීඩාවේ දක්ෂයෙකු බව කතුවරිය කියයි. (39 වන පිට)  චෙස් ක්‍රීඩාවේ (චතුරංගණී ක්‍රීඩාව) ආරම්භය කි.ව. 500 දී පමණ බව විකිපීඩියා හී සඳහන් වේ.  විකිපීඩියා සටහන නිවැරදි නම් මෙයත් තවත් ඉතිහාස පටලැවිල්ලකි.  (මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය 277 - 304 AD.)

No comments:

Post a Comment