Friday, January 8, 2021

Flu—The Story of the Great Influenza Pandemic of1918 and the Search for the Virus That Caused It.

කතෘ: Gina Kolata

ප්‍රකාශක: Farrar, Straus and Giroux 1999


(1) 1918 මාරාන්තික flu වෛරසය


මෙම flu එක පටන් ගත්තේ සාමාන්‍ය flu එකක් ලෙසය.  1918 මුලදී ආ මෙම flu එක අවුරුද්ද මැද වනවිට නැත්තටම නැතිවී යන තත්වයක තිබින.  එහෙත් ඔක්තෝබර් මාසය වන විට එය killer flu එකක් බවට හැරී තිබින.  එය එසේ වූයේ කෙසේ දැයි කිසිවෙකුට වටහා ගන්නට බැරිවිය.  නැවත පැමිණි මෙම flu එකට හසුවූ මුල්ම නගර තිබුනේ ස්පාඤ්ඤයේ ය.  ස්පාඤ්ඤ ජාතිකයින්ගේ කනස්සල්ලට හේතු වන ලෙස මෙම flu එක Spanish Flu එක ලෙස හැඳින්වෙන්නට පටන් ගත්තේය.


ලොව පුරා කෝටි පහකට වඩා ජනයා මරා දැමූ වෛරසය 1919 වන විට නැතිවී ගියේය.  වෛරසයෙන් බැට කා සිටි ජනතාව තව දුරටත් වෛරසය ගැන පුවත් ඇසීමට අකමැති වූහ.  එබැවින් පුවත්පත් ද මෙම වෛරසය ඉක්මනින් අමතක කර දැම්මේය.  මේ වෛරසය කුමක්ද?, එය ආවේ කොහෙන්ද? එය මෙතරම් දරුණු වෛරසයක් වූයේ මන්ද? එය ආපසු එයිද? එසේ ආවොත් කරන්නේ කුමක්ද? යන ප්‍රශ්ණ වලට උත්තර නොවීය.  ඒ ප්‍රශ්ණ අහනවාටවත් කිසිවෙකු කැමති නොවීය.  1918 වෛරසය මුලු ලෝකයටම ඉක්මනින් අමතක විය.  


1918 සිට 1999 වනතෙක් කාලය තුල විද්‍යාඥයයින් කිහිප දෙනෙක් පමණක් වෛරසය අමතක නොකලේය.


රිචඩ් ශෝප් (Richard E, Shope) මෙයින් පළමුවැන්නා ය.  ඇමරිකාවේ සිටි ඌරන් ද 1918 දී යම් රෝගයකින් දහස් ගණනින් මිය ගිය බව ශෝප් නිරීක්ෂණය කලේය.  මෙම රෝගය 1918 flu එකකට සමාන බවත් ඔහු නිර්‍රක්ෂණය කලේය.   Swine flu (“සූකර උණ”) හා 1918 “මිනිසුන්ගේ flu එක” අතර සම්බන්ධතාවයක් තිබිය හැකිදැයි යන්න පිළිබඳව ශෝප් පරීක්ෂණ කලේය.  මේ අතර එංගලන්තයේ විල්සන් ස්මිත් (Wilson Smith) , ක්‍රිස්ටොපර් ඇන්ඩෘස් (Sir Christopher Andrews)  හා පී. පී. ලේඩ්ලෝ (Sir P. P. Laidlaw) “මිනිසුන්ගේ flu එක” ලෙහෙසියෙන්ම ferret නැමැති සතාට බෝවෙන බව සොයා ගත්තේය.  මේ කතාව ඇසූ ශෝප් කල පර්යේශණ වලදී ferrets ලාට swine flu එකද වැලඳෙන බව සොයාගත්තේය.  ශෝප් ඊළඟ පැහැදිලි ප්‍රශ්ණය සිතා බැලුවේය.  Swine flu වෛරස් එකයි මිනිස් flu වෛරස් එකයි එකම වෛරස්යද?


මිනිස් flu වැලඳී සුව වුනු ferrets ලා හට swine flu වැළඳුනේ නැත.  ඔවුන් swine flu වලට ප්‍රතිශක්තීකරණය ලබා සිටියහ.  එවගේම swine flu වැලඳී සුව වුනු ferrets ලා හට මිනිස් flu වැළඳුනේ නැත.  ඔවුන් මිනිස් flu වලට ප්‍රතිශක්තීකරණය ලබා සිටියහ.  එහෙත් මිනිස් flu වෛරසය හා swine flu වෛරසය සම්පූර්ණයෙන්ම එක හා සමාන නොවන බවද පරීක්ෂණ මගින් ඔහු වටහා ගත්තේය.  ඔහු පළමුව swine flu වැළඳී සුවවුනු ඌරන්ගේ antibodies රැගෙන swine flu වෛරස් සමඟ කලවම් කලේය.  එම කලවම ferrets ලා හට විද්ද විට උන් රෝගී නොවූහ.  ඌරන්ගේ antibodies මගින් swine flu වෛරස්  සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කර තිබින.  නමුත් මිනිස් antibodies සමග swine flu වෛරස්  කළවම් කොට ferrets ලා හට විද්ද විට සමහර ferrets ලා රෝගී වූහ.  මෙහි ප්‍රතිලෝම පරීක්ෂණයද මේ හා සමාන ප්‍රතිඵල ලබා දුනි.  මිනිස් antibodies විසින්  swine flu වෛරසය අර්ධ වශයෙන් අක්‍රිය කර තිබින.  


එනමුත් 1918 වෛරසය හඳුනා ගැනීමට  තරම් ශෝප් ගේ කාලයේ විද්‍යාව දියුණු වී තිබුනේ නැත.  විද්‍යාව දියුණු තත්වයට එනවිට 1918 වෛරසය සොයා ගැනීමට තිබුනේ නොමැත.


1936 දී සංසේචනය කළ බිත්තර තුල වෛරස් ඉතා පහසුවෙන් වර්ධනය කල හැකි බව සොයා ගන්නා ලදි.  1944 දී බිත්තර තුල වර්ධනය කොට අකර්මන්‍ය කරන ලද වෛරස් භාවිතා කොට වෛරස් එන්නතක් වසරක් පාසා ඇමරිකානුවන්ට ලැබෙන්නට සලස් වන ලදි.  මෙය flu shot නමින් තවමත් හැඳින් වේ.  1947 දී පිහිටවූ WHO (World Health Organization) මගින් ලොව පුරා වෛරස් නිරීක්ශණ පද්ධතියක් ඇති කලේය.


1918 වෛරසය සොයා ගැනීම සඳහා වූ මුල්ම අදහස ඇති වූයේ හා එය සොයා ගැනීමට උත්සාහ කලේ යොහාන් වී. හල්ටින් (Johan V. Hultin) විසින්1951 දීය.  1918 flu එක හැදී මැරුණු කෙනෙකුගේ මිනියක් අධි ශීතකරණයක තබා ඇත් නම් ඒ සිරුර තුල වෛරසය තවමත් තිබෙන්නට පුළුවන.  එවැනි මැරුණ අයත් එවැනි සිරුරු ඇති අධි ශීතකරණයත් තිබෙන්නේ කොහේදැයි ස්වීඩනයේ උපත ලත් හල්ටින් දැන සිටියේය.  ඇලස්කාවේ සමහර එස්කොමෝ ගම්වල 90% පමන ජනතාව 1918 flu සෑදී මිය ගියහ.  එම මල සිරුරු permafrost වල වළ කපා සමූහ වශයෙන් වළලනු ලැබීය.  එම permafrost වසරේ කිසිම කලක දියවෙන්නේ නැති තැන් ඇලස්කාවේ ඇත. එවැනි තැනක මෙම මලමිණී සුරක්ශිතව තිබිය හැක.


ඇලස්කාවේ Nome හිදී එවැනි සිරුරු සොයාගත් හල්ටින් එම සිරුරු වල පෙනහැලි කොටස් අධිශීතකරණ බහළුම් වල ඇසුරුම් කොට රැගෙන ආවේය.  නමුත් වෛරසය බිත්තර තුල වර්ධනය කිරීමට ගත් සෑම උත්සාහයක් ම අසාර්ථක විය.


එකදාස් නවසිය පනස් ගනන් වලින් පසුව flu වෛරස් සෛල (cells) තුලට ඇතුල්වන්නේ කෙසේදැයි සොයා ගන්නා ලදි.  Flu වෛරස් විසින් සෛල ආක්‍රමණය කිරීම ප්‍රෝටීන වර්ග දෙකක් මත රඳා පවතී.  ඒවා නම් hemagglutinin හා neuraminidase වේ.  Flu වෛරසය සෛලයට ඈඳීම සඳහා hemagglutinin යොදා ගන්නා අතර සෛලය තුල වැඩුණු අළුත් වෛරසය සෛලය සිදුරුකොට ගෙන පිටවීම සඳහා neuraminidase යොදා ගනියි.  Flu වෛරස් නම් කිරීම සඳහා මෙම ප්‍රෝටීන දෙකේ මුළකුරු යොදා ගන්නට පටන් ගැණින.  1946 ලොව පුරා පැතිරුනු flu වෛරසය H1N1 විය.  1956 ලොව පුරා පැතිර ගිය වසංගතයට මුල්වූ වෛරසයේ මෙම පෝටීන දෙකම පරිණාමය වී තිබිණ.  එනිසා එය H2N2 ලෙස හැඳින් විය.  1968 වෛරසයේ hemagglutinin පරිණාමය වී තිබුනද neuraminidase 1956 වෛරසයේ තිබුණු ප්‍රෝටීනයමය.  එනිසා එය H3N2 ලෙස හැඳින් විය. 


1983 දී Kary Mullis විසින් Polymerase Chain Reaction (PCR) තාක්ෂණය සොයාගන්නා ලදි. (ඔහුට මේ සොයාගැනීම සඳහා නොබෙල් ත්‍යාගය හිමිවිය.)  PCR තාක්ෂණය මගින් ඉතා කුඩා DNA සාම්පලයකින් DNA කොපි බිලියන ගනනක් ඉතා ඉක්මනින් නිපදවා ගත හැක.  මේත් සමගම 1918 වෛරස් කුඩා සාම්පලයක් සොයා ගත හොත් PCR තාක්ෂණයෙන් එහි කොපි විශාල ගණනක් ජනනය කිරීම මගින් වෛරසය කුමක්දැයි සොයා ගැනීමට පරීක්ෂණ කිරීමට පහසු බව Armed Forces Institute of Pathology ආයතනයේ සේවය කල Jeffery Taubenberger ට වැටහිණ.  හමුදා සෙබලෙකු කිසියම් ව්‍යාධියකින් මලහොත් එම තැනැත්තාගේ සිරුරු කොටසක් ආරක්ෂා සහිතව ගබඩා කිරීම හමුදාවේ සිරිතයි.  1918 දී මල සෙබළුන්ගේ පෙනහළු කොටස් එවැනි ගබඩාවක සුරක්ෂිතව ගබඩා කර තිබිණ.  


1918 flu එක වැළඳී මියගිය සෙබලෙකි Private Vaughan.  වෝන් ගේ පෙණහැලි කොටසකින් 1918 වෛරස් කොටසක් සොයා ගැනීමට Taubenberger ගේ කණ්ඩායමට හැකිවිය.  ඔවුන්ගේ එම ප්‍රතිඵල 1997 මාර්තු මාසයේදී Science නමැති සඟරාවේ පල විය.  මෙම ලිපිය කියැවූ හල්ටින් Taubenberger ට ලිපියක් යවමින් ඔහු 1951 දී කල පරීක්ෂණය ගැන සඳහන් කොට නැවත ඇලස්කාවට ගොස් 1918 සිරුරු ආරක්ෂා වී ඇති සොහොනට ගොස් පෙන්හළු කොටස් ගෙනැවිත් දීමට යෝජනා කලේය.  Taubenberger එම යෝජනාව පිළිගත් හෙයින් ඇලස්කාවට නැවත ගිය හල්ටින් 1918 දී මිය ගිය තරබාරු Lucy ගේ පෙණහළු කොටස් Taubenberger ට ලබා දුන්නේය.


(ඇගේ නම ලූසි නොවේ.  ඇගේ නම කුමක්දැයි කිසිවකු දන්නේ නැත.  ඇයට ලූසි යැයි නම් තැබුවේ 1971 දී අවුරුදු මිලියන් තුනකට වඩා පැරණි ගැහැණු ඇටසැකිල්ලක් ඉතියෝපියාවේ දී හමුවූ වේලේ එයට තැබූ නම අනුගමනය කරමිනි.  එවෙලේ එම කඳවුරේ බීට්ල්ස් ලාගේ Lucy in the sky with diamond යන සිංදුව වාදනය වෙමින් තිබී ඇත.)


අවසානයේ දී 1918 වෛරසය කුරුළු වෛරසයකින් (avian virus) පැවත එන්නක් බව හෙලිවිය.  කුරුළු වෛරසය ඌරන්ට අතරට මාරු වී ඊලඟට මිනිසුන්ට මාරු විය.  එය H1N1 වෛරසයකි.  1918 සිට අද දක්වා ඇතිවූ සියළුම වෛරස් 1918 වෛරසයෙන් පැවත එන්නන් බව පිලිගැනේ.  එනම් 1918 වෛරසය “mother of all viruses”.  එනමුත් ඇගේ "දරුවන්" ඇය තරම්ම මාරාන්තික නොවේ.


2005 දී 1918 flu වෛරසය පරීක්ශණාගාරයක නැවත ප්‍රතිනිර්මාණය කෙරිණි.  සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කරන ලද 1918 වෛරසය මීයන්ට දුන් විට එය ඉතා ඉක්මණින් ප්‍රතිවර්තනය වීමේ පෙන්නුම් කරන ලදි.  නිදසුනක් වශයෙන්, ආසාදනය වී දින හතරකට පසු, ආසාදිත මීයන්ගේ පෙනහළු පටක වල තිබී සොයාගත් 1918 වෛරසයේ ප්‍රමාණය සංසන්දනාත්මක  වෛරසයක් විසින් නිපදවන ලද ප්‍රමාණයට වඩා 39,000 ගුණයකින් වැඩිය.  තවද, 1918 වෛරසය මාරාන්තික විය. සමහර මීයන් 1918 වෛරසය ආසාදනය වී දින තුනක් ඇතුළත මිය ගිය අතර 1918 වෛරසය ආසාදනය වී දින දෙකක් ඇතුළත මීයන්ගේ ශරීර බරෙන් 13% ක් දක්වා අඩු විය.  1918 වෛරසය පරීක්ෂාවට ලක් කළ අනෙක් වෛරස් වලට වඩා අවම වශයෙන් 100 ගුණයක් පමණ මාරාන්තික විය.  1918 flu වෛරසයේ එක් එක් අංගයන් නොව, එහි ඇති සියලුම ජානවල අද්විතීය සංයෝජනය නිසා එය විශේෂයෙන් භයානක වූ බව තවදුරටත් කෙරුණු පරීක්ශණ වලින් හෙලි විය.


(2) 1918 flu වෛරසය ලංකාවට බල පෑ ආකාරය


මෙම වෛරසයෙන් ලොව පුරා පස් කෝටියක් පමණ ජනතාව මල බව කලින් කියා ඇත. එසේ නම් ලංකාවෙත් සමාණුපාතිකව මිනිසුන් විශාල ගනනක් මිය ගිය යුතු නේද?  එහෙත් අප එවැනි කතාවක් අසා නැත.  සේන තෝරදෙනිය මහතා ලියූ "සමන්මල් කඩුල්ල" කියවා අවසන් කලේ ඊයේ ය.  එම කතාව ගෙතෙන්නේ මෙම වෛරසය ආ කාල වකවානුවේ ය.  එහෙත් එහිද මිනිසුන් විශාල ගණනක් ක්ශණිකව මිය ගිය සිදුවීමක් කියැවෙන්නේ නැත.


ලංකාවේ 1918 තොරතුරු සොයා බැලීමේදී Influenza Other Respir Viruses නමැති සඟරාවට Michigan State University යේ Siddharth Chandra සහ Dilshani Sarathchandra ලියූ ලිපියක් හමුවිය.  ඔවුන්ට අනුව ලංකාවේ 1918 flu වසංගතයෙන් ලක්ෂ තුනකට වඩා මිය ගොස් ඇත.  එය එකල ලංකා ජනගහණයෙන් 6.7% පමණ වේ.  එම වාර්තාවේම සඳහන් පරිදි ඉන්දියාවේ ජනගහනයෙන් 5.5% 1918 වෛරසයෙන් මිය ගොස් ඇත.  එනිසා ලංකාව 1918 flu වෛරසයෙන් හොඳින් බැට කා ඇත.


(3) 1918 වෛරසය තරම් ඉන්පසු වෛර්ස් මාරාන්තික නොවූයේ මන්ද?


“1918 flu වෛරසය මාරාන්තික වූවා නම් ඇයගෙන් පැවතෙන්නන් වන පසු කාලීන වෛරස එතරම් මාරාන්තික නොවූයේ මන්ද?” යන පැනයට Evolutions of Infectious Diseases නම් පොත ලියූ Paul Ewald පරිණාමවාදයට අනුව පිළිතුරක් සපයයි.  


ඔබ වෛරසයක් කිය සිතන්න. ඔබේ අරමුණ ඔබෙන් පැවත එන වෛරසයන් (ඔබගේ කොපි) විශාල ගණනක් ධාරකයා (your host) තුල හැකි ඉක්මනින් නිපද වීමයි.  ඊලඟ අරමුණ නම් ධාරකයා මාර්ගයෙන් මේ අළුත් කොපි සඳහා තවත් ධාරකයන් සොයා ගැනීමයි.  ඔබ ඔබේ කොපි විශාල ගණනක් ඉතා ඉක්මණින් නිපදවුව හොත් ඔබේ ධාරකයා ඉක්මනින් මිය යා හැක.  ඔබට අවශ්‍ය එය නොවේ.  ඔබට අවශ්‍ය ඔබේ ධාරකයාට ගමන් බිමන් යෑමට, වැඩට යෑමට හා එසේ යන එන අතර කිවිසුම් පිට කිරීමෙන් ඔබගේ කොපි සඳහා අළුත් ධාරකයින් සොයා ගැනීමයි.  එනිසා ඔබ මාරාන්තික වෛරසයක් වීම ඔබේ පරිණාමයට නුසුදුසු ය.  එබැවින් ඔබේ මාරන්තික බව අඩු කර ගැණීම ඔබේ පරිණාමයට හිතකාරීය.  1918 දී "අම්මා" කල ගොංකම මගින් ඇගේ දරුවන් පාඩම් ඉගෙන ගෙන ඇත.


යොමුව (References): 

(1) “Flu — The Story of the Great Influenza Pandemic of 1918 and the search for the Virus That Caused It.” by Gina Kolata, Farrar, Straus and Giroux, New York 1999.


(2) “Reconstruction of the 1918 Influenza Pandemic Virus”, Center for Disease Control And Prevention.


(3) “The Influenza Pandemic of 1918-1919 in Sri Lanka: Its Demographic Cost, Timing, and Propergation” by Siddharth Chandra and Dilshani Sarathchandra, Influenza Other Respir Viruses, 2014 May 8(3) 267-273.


(4) “A New Germ Theory” by Judith Hooper, The Best American Science and Nature Writing 2000, 91-115.

No comments:

Post a Comment