Friday, January 8, 2021

බත්තලංගුණ්ඩුව

කතෘ: මංජුල වෙඩිවර්ධන
ප්‍රකාශක: සම ප්‍රකාශකයෝ 2016


මා ඉහල පංති වල සිටියදී අප නෑ හිතවතුන් සිටි හලාවත ප්‍රදේශයට නිවාඩුවට යෑමට දින ගනන් කරමින් සිටියෙමි.  කොහු මෝලේ ඇවිදීමට යෑම, කලපුවේ මාළු ඇල්ලීම් බලන්නට යෑම, වැවේ නෑම, හිඳුණු වැව් වල ඉබ්බන් ඇල්ලීම බලන්නට යෑම, රා බෑම සහ බාපු ගමන් රා බීමට ලැබීම, ඉඳහිට සුදු අරක්කු බීමට ලැබීම, ආදී මෙකී නොකී, කොලඹදී හීනෙන්වත් හිතන්නටවත් බැරි අත්දැකීම් තවමත් මතක් කල විට මට සතුටක් ගෙන එයි.


එදා සිට අද දක්වාම නොයෙක් ආකාර වලින් සම්බන්ධතා පැවැත්වූ විශ්ව විද්‍යාලයේදී හමුවූ මගේ හොඳම මිතුරෙක් නිව්යෝර්ක් හී ජීවිතය අතහැර මීගමුවටත්, එතැනින් එළුවන්කුලමටත් සංකරමන්ණය වූ අතර, ඔහු දැන් එළුවන්කුලමෙහි ව්‍යාපාරයක යෙදෙයි.  අදද විශ්ව විද්‍යාලයේ සිටි තවත් සමීප මිතුරන් සමග ඔහු හමුවීමට ගොස් කැලේ ඇවිදීම, ළුණු ගඟේ නෑම, රෑ එලිවන තෙක් නොයෙකුත් විශයන් ගැන සාකච්චා කිරීම, අපගේ ප්‍රියතම විනෝදාංශයන් ය.  Oceanography වලින් ඉහල උපාධියක් ඇති ඔහුට ඕනෑම විශයක් සම්බන්ධව කතා කර හැකි දක්ෂතාවයක් ඇත.  ඔහු හමුවීමට යන ගමනේදී මාරවිලෙන් ගන්නා ඌරුමස් ද, පම්බලින් ගන්නා රා හා ඉස්සන්ද, යන හැම අයෙක්ම ගෙනයන නා නා මාදිලියේ බීම බෝතල් ද සාකච්චාවට හොඳ පොහොර වේ.  වලාකුළු වලින් තොර  මධ්‍යම රාත්‍රියට light pollution නැති නිසා ක්ශීර පථය ඉතා පැහැදිලිව පෙනේ.  මේ කතා අතර එක් දිනකදී බත්තලංගුණ්ඩුවට යාමකටද සැලසුම් කෙරුණු මුත් තවම යා ගන්නට නොහැකි විය.  ඒ වන විට මංජුලගේ පොත ගැන අසා තිබුණු මුත් කියවා තිබුණේ නැත.


බත්තලංගුණ්ඩුව කියවද්දී මගේ ඒ සොඳුරු මතකයන් අවදි විය.  මංජුල මේ පලාත් වාසීන්ගේ ජීවිත ඉතා ශූක්ෂමව හා නිවැරදිව මෙම කතාව තුලට ඇතුල් කර ඇත.  ඔහුද ඔවුන් අතර සෑහෙන කාලයක් ජීවත් වූවාට සැක නැත. ඔවුන් අතර ජීවත් වීමේදී තමන් පුරුදු ජීවිත අතහැර ඒ මිනිසුන් ජීවත්වන ආකාරයටම ජීවත් වීමට හැකි නම් එම අත්දැකීම සම්පූර්ණ වේ.  මේ කතාව ඒ සම්පූර්ණ අත්දැකීමම සපයයි.  මේ පොතට මංජුලට ඇතුලත් කිරීමට නොහැකිවූයේ ඒ මිනිසුන්ගේ කතා බහ වලදී ඔවුන්ටම ආවේනිකවූ තාරතාව (pitch) යි.  සමහර විට එය තාරතාව පමනක් ම විය නොහැක.


එක් වරක් අපි එළුවන්කුළමට යාම සඳහා දුම්රියෙන් පුත්තලමට ගොස් එතැනින් බසයක යෑමට අදිටන් කලෙමු.  උදෑසනම යන පුත්තලං කෝච්චිය පවර්සෙට් එකක් වන අතර එහි වැසිකිලි පහසු කම් නැත.  එහෙත් ඊට පැය දෙක තුනකට පසුව යන බඩු කෝච්චියේ වැසිකිලි පහසුකම් ඇත.  ආපසු එන ගමනේදී මුන්දල් වලදී අතිවිශාල ජනකායක් දුම්රියට ගොඩ වූහ.  මෙතෙක් ඉඩ පහසු කම් තිබූ දුම්රියේ තෙරපී හිටගෙන යාමට තරම් මිනිසුන් වූහ.  මා කුඩා කාලයේ මට මතක හිටි සුන්දර පෙනුමක් ඇති ඒ වැනිම ගැහැණියක් ඔවුන් අතර වූහ. මේ ගියේ කොහෙදැයි විමසූ විට ඇය දුන් පිලිතුර, ඇගේ වචන හසුරුවන ස්වභාවය, ඇගේ තාරතාව මම ඉතාමත් හොඳින් හඳුනන බව මට පසක් විය.  "... පල්ලියෙ මංගල්ලෙට ගියා."  ඒ "ගියා" අපි කියන ආකාරයේ "ගියා" නොවේ.


මංජුල මෙම කතාව audio book එකක් ලෙස එලි දක්වන්නේ නම් මේ කරුණ සැලකිල්ලට ගත යුතු බවයි මගේ හැඟීම.


පොත කියැවීමෙන් පසු බත්තලංගුණ්ඩු ගමන යාමට ඇති ආශාව තීව්ර විය.  Google Map සහ Google  මගින් බත්තලංගුණ්ඩුව පරීක්ශා කලෙමි.  එම සොයාගැනීම් තුලින් මට ඇති වූයේ පිලිකුල් සහගත හැඟීමකි.  තරුණ නරයින් හතර දෙනෙකු බත්තලංගුණ්ඩුවට ගොස් ඩ්‍රෝනයක් පියාසර කරන සෝබනයක් දුටිමි.  මෙවැනි සෝබන කාරයින් මංජුල විසින් දක්ෂ ලෙස ගොඩ නැංවූ බත්තලංගුණ්ඩුව අපවිත්‍ර කර ඇත.  එහි යාමට දැන් එතරම් කැමැත්තක් නැත.  මෙවැනි මෝඩ සංචාරකයින් නිසා පරිසර සහ සංස්කෘතික විනාශයක් සිදු වීම වැලැක්විය යුතුය.  භූතානයේ මෙන් සංචාරක රෙගුලාසි ඇති කල යුතුය.


මංජුල අතිදක්ෂ නවකතා කරුවෙකි.  මේ කතාව සත්‍ය කතාවක් ලෙස මට හැඟේ.

No comments:

Post a Comment