Wednesday, January 6, 2021

බණ්ඩර මැරූ උන්

කතෘ: සේන තෝරදෙනිය
ප්‍රකාශක: දයාවංශ ජයකොඩි 2015

ගිරිදේව දීගල්ල උඩරට කුලගෙදරක උපන් මද්දුම පුත්‍රයාය.  ඔහුට ගෙදරදී මෙන්ම පාසැලේදීද නොයෙකුත් අඩම්තේට්ටම් සිදුවිය.  මෙම අතවර හේතුවෙන්දෝ ඔහු ගමේ කොලු කට්ටියක් සමග දඩාවතේ හැසිරුනේය.  

පසුකලෙක රැකියාවකට ගිය ගිරිදේව තම පඩියෙන් අම්මාට මාස් පතා මුදලක් දුන්නේය.  අම්මා සමග සුහද සාමීචියේ යෙදී සිටින වතාවක ඔහු ඔහුගේ කුඩා කාලයේ විඳින්නට සිදු වූ අතවර අම්මාට මතක් කලේය. 


“අනේ පුතේ ඒ කාලෙ වෙච්ච දේට සමාවෙයල්ලා! අපට කියල දැනුමක් තේරුමක් තිබ්බෙ නෑ.  අපි සමාජය ගැන දැනගෙන හිටියෙත් නෑ.  අපි හිටියෙ දොර මුල්ලේ.  අපිත් හිටියෙ ගිරේට අහුවෙච්ච පුවකෙ ගාණට.  මට කියලවත් ට්‍රේනිං යන්ට දුන්නයැ? රැක්කා.  ආරස්සා කෙරුවා. එහෙම ගියා නම් මාත් මුල්ගුරුවරියක්.  ඇට්ටිඹි කෙල්ලොන්ගෙ ආඩම්බර බලන්නෙ නෑ.  මයෙ අප්පච්චි කිව්වා ඉගෙන ගත්තා ඇති කියල. උඹලැ අප්පච්චි පත්වීම බාරගන්ට එපා කිව්වා. මේ ටිකවත් කර ගත්තෙ මගේ කටේ බලෙන්.  මාත් මුළුගැන්නිල හිටිය නම් මටත් වෙන්නෙ ගෙදෙට්ට වෙලා බත් තම්බන්ට!"


ගමේ කොළු රෑන ගිරිදේව ආමන්ත්‍රණය කලේ "බණ්ඩර මහත්තයා" යනුවෙනි.  


හුන්නස්ගිරි කන්ද මුදුනේ රාත්‍රිය ගත කිරීමට ගොස් චන්ඩ සුළඟින් හා සිහිතලයෙන් පීඩා වූ ඔවුන් රාත්‍රියේ ඝන කලුවරේම කඳුමුදුන අතහැර පහල ඇති කළුදියපොකුණට යාව ඇති ගල්තලාවට ලඟාව එලිවනතුරු ඕපදූප කතා කරමින් සිටියහ.


“ගෑනු ගැන බණ්ඩර මහත්තය දන්නේ නෑ.  මෙතන ඉන්න කට්ටියගෙන් දන්නෙ සයිම විතරයි.  සයිම තමයි දොරමුල්ලට වෙලා නෑන එක්ක කැවුම් කනව අහු උණේ!" යි පියසේන කීවේය.


ගිරිදේවගේ චිත්‍ර ඇඳීමේ දක්ෂතාවය මුලින්ම හඳුනා ගත්තේ පාසැලේ චිත්‍ර ගුරුවරයාය.  


රිය අනතුරක් ඇඳීමට කී විට ගිරිදේව වටවංගු සහිත වනගත මාවතක් ඇඳ 63 සැතපුම් කණුව සටහන් කලේය.  වල්පුරන කපාගෙන බසයේ රෝද දෙකක් කා වැදී තිබිණ.  ගුරුතුමා අපේක්ෂා කල රිය අනතුරක සලකුණක් එහි නොවීය.  ගුරුතුමා අපේක්ෂා කලේ වීදි මාර්ගයක සිදුවූ රිය අනතුරකි.  අනික් සිසුන් හැඳ තිබුණේද එවැනි දර්ශනය.


“කෝ මෙතන හැප්පිච්චා? අනතුරු වෙච්ච මිනිස්සු? මේ රූපය පිරිල නෑ."


"බස්සෙකක් මෙතනින් ප්‍රපාතයට වැටිලා!"


“"මේ සැරේ 'පික්චර් ඔෆ් ද ඉයර්' අඳින්නෙ ගිරිදේව!" පාලිත සර් මුළු පන්තියටම ඇසෙන්නට නිවේදනය කළේය.


මෙම පොතෙහි නම බණ්ඩර මැරූ උන් ය.  මෙහිදී බණ්ඩර ලෙස උඩින් පෙනෙන්නේ ගිරිදේවයි.  එනයින් බණ්ඩර මැරූ උන් වන්නේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ජේ.ආර්., එම විවෘත ආර්ථිකය සමග පැමිණි බටහිර සංස්කෘතියේ නොසන්ඩාලකම් වැලඳ ගත් නව පරපුර, එම විවෘත ආර්ථිකය සමග පැමිණි දූෂිත දේශපාලනය, එම විවෘත ආර්ථිකය තුල පෝෂණය වූ මැර බලය, එම විවෘත ආර්ථිකය නිසා අසාමාන්‍ය වේගයකින් වෙනස් වූ සිංහල බෞද්ධ සංස්කෘතිය යි.


මෙහි ඇති එක් අඩුපාඩුවක් ලෙස මම දකින්නේ ජේ.ආර්. ට එවැනි දරුණු වෙනසක් රටෙහි ඇතිකිරීමට, ඔහුට අසීමිත බලයකින් රජ (ජනාධිපති) වීමට මුල් වූ තුන් හවුල් ආණ්ඩුවේ අත්තනෝමතික තීරණ, මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉවත් වීම, ගැන ප්‍රමාණවත් අවධානයක් නොදීමයි.


එහෙත් බණ්ඩර ලෙස යටින් පෙනෙන්නේ ගිරිදේව හා අනෙකුත් ප්‍රධාන චරිත වන, කුඩාදේව, වටපාන, හා රතුමහත්තයා යි.  මේ සෑමෝම ඉහත සඳහන් වෙනස් වීම් තුල "මැරී" යයි.


“වැඩි කල් නොගොහින් බටහිර රටවල්වල වගේ අම්මලාට අවුරුදු දොළහේ දහතුනේ කෙල්ලන්ට උදේ ඉස්කෝලෙ යන්ට ඉස්සරවෙලා උපත්පාලන පෙත්ත අරන් යන්ට මතක් කරන කාලයක් උදා වෙනවා.  දැනටමත් සිංහල සාහිත්‍යකාරයෝ සහෝදරයා විසින් සහෝදරිය දූෂණය කරන, පියා හා බාප්පා විසින් දියණිය දූෂණය කරන නවකතා ලිවීම ආරම්භ කරලා.”


“ඉතින් තමුසෙලා මෙව්වට විරුද්ධව මොනවද කරල තියෙන්නේ?" යි වටපාන, කුඩාදේවට කඩා පැන්නේය.  කුඩාදේවට දිය හැකි පිලිතුරක් නොවීය. 


වටපාන, කුඩාදේව හමුවී තම දුව බැඳපු මනමාලයාගේ කතා විලාසය ගැන තම දුක කීවේය.


“මට ක්‍රිස්තියානි ඕතොඩොක්ස් උණත් කමක් නෑ.  ජාතියක් ජන්මයක් නැති යුරෝපයේ අහිකුණ්ටකයෙක් උනත් කමක් නෑ.  මට ඉවසන්න බැරි මට 'වටයා' කියන එකයි.”


"ප්‍රොෆෙසර්ට හොඳයි.  ඌ 'වටය' හරි කියල කියනව. මගේ බෑණ වෛද්‍යවරයානෝ මට සිංහල කුණුහරුපෙන් බණිනව.  මට ජීවිතේටම කවුරුවත් කුණුහරුපෙන් බැණල නෑ.  ඉතිහාසය, සාහිත්‍ය කියවල නැති, රටක් සංස්කෘතියක් නැති ජයවර්ධන යුගයේ පැටව් දැන් මට පිටරට ඉඳල තිත්ත කුණුහරුපෙන් බණිනවා.  දරුවෙක් හදල බන්දලා දුන්නු එකේ වන්දි ගෙවනවා."


හතලිස් ගනන් වල සිට 2014 පමණ දක්වා රටේ ඇති වූ වෙනස් කම් තරමටම වෙනස්නොවූ ගිරිදේවගේ 70 වසරක ජීවිත කාලය මෙහි උඩින් ඇති කතාවයි.  ඊට අමතරව, ලංකාවේ අනාගතය අඳුරෙන් අඳුරට යන බවක් කතාව කියැවීමෙන් හැඟේ.  


එහෙත් වාසනාවකට බොරුව, වංචාව, දූෂණය, මැර පාලනය ගැන සැබැවින්ම කළකිරුණු බහුතරයක් දැන් රටේ සිටින බව නූතන සිදුවීම වලින් පැහැදිලිය. 


මෙය අගනා කෘතියකි.

No comments:

Post a Comment