Saturday, January 23, 2021

Krakatoa—The Day The World Exploded August 27, 1883

කතෘ: Simon Winchester

ප්‍රකාශක: HarperCollins 2003


ක්‍රැකටෝ (Krakatau) යනු ජාවා දූපතත් සුමාත්‍රා දූපතත් අතර ඇති සුන්ඩා සමුද්‍ර සන්ධියේ (Sunda Strait) පිහිටා තිබූ දිවයිනකි.  මෙම දිවයිනෙහි රකාටා (Rakata), ඩැනන් (Danan), හා පර්බොවාටන් (Perboewatan) නමින් හැඳින් වූ ගිණිකඳු කේතු තුනක් විය.  මුළු දිවයිනම කේතු තුනක් තිබූ ගිණි කන්දක් ලෙස සැලකිය හැක.  ක්‍රැකටෝ දෙපස සර්තුං (Sertung) හා පැන්ජං (Panjung) නමින් හඳුන්වන කුඩා දිවයින් දෙකක් විය.  (මෙම දිවයින් තවම තිබේ.)  ක්‍රැකටෝ දූපතට මුහුන ලා ජාවා දූපතෙහි වූ ගමක් වන්නේ අන්යාර් (Anjar) ය.  ක්‍රැකටෝව් දූපතට මුහුන ලා සුමාත්‍රා දූපතෙහි වූ නගරයක් වන්නේ බන්ඩාර් ලැම්පුන් (Bandar Lampung) ය.


1883 මැයි 23 දා ක්‍රැකටෝ දූපත ප්‍රථම වරට සක්‍රිය විය.  අන්යාර් සිටි Loyd’s of London නියෝජිතයා වහාම අත් අකුරින් ලියූ සටහනක් අන්යාර් හී විදුලි පණිවුඩ ක්‍රියාකරු වෙත යැවීය. ඔහු Krakatau යන වචනයේ u අකුර n අකුර ලෙස දැක්කේය.  අන්යාර් හී විදුලි පණිවුඩ ක්‍රියාකරු බටේවියා හරහා ලන්ඩන් වෙත යැවූ පණිවිඩයේ අවසාන වාක්‍යය මෙසේය.


The mountain of Krakatan has been covered all over on the north side with ashes.


ලන්ඩන් ටයිම්ස් පුවත් පතට මෙම පණිවුඩය සම්බන්ධව කුඩා සටහනක් තැබූ ලේඛකයා Krakatan වෙනුවට Krakatoa ලෙස ලිවීය.  ඔහුගේ සටහන පුවත්පතෙහි වාර්තා වූයේ මෙසේය.


Volcanic Eruption.  Lloyd’s Agent in Batavia, under the date of May 23rd, telegraphs: “Strong Eruption, Krakatowa Island, Sunda Straits.”


මේ සුළු වැරැදි නිසා  ක්‍රැකටෝ (Krakatau), දවසක් ඇතුලත ක්‍රැකටන් (Krakatan) වී, ඉන් පසු ක්‍රැකටෝවා (Krakatowa) විය.  දැන් බොහෝදෙනා එය ක්‍රැකටෝආ (Krakatoa) ලෙස උච්චාරණය කරන මුත් ජාවා හී වැසියන් හට තවමත් එය ක්‍රැකටෝ (Krakatau) ය. 


1883 මැයි 23 දා වූ සක්‍රිය වීම අනතුරු හැඟවීමක් පමනකි.  අනතුරු දායක සක්‍රිය වීම සිදුවූයේ ඊට මාස තුනකට පමන පසුවය.


1883 අගෝස්තු 26 වන ඉරිදා දහවල් 1:06 ට රකාටා, ඩැනන්, හා පර්බෝවන් ගිණි කේතු තුනම සක්‍රිය විය.


මිස්ට සහ මිසිස් Beyerinck හා ඔවුන් ගේ දරුවන් තිදෙනා සිටියේ මාකට් එකේ ය.  මිසිස් Beyerinck ගෙදර නොගොස් කන්දක් උඩ පිහිටි ඔවුන්ගේ සංචාරක බංගලාවට යෑමට යෝජනා කලේය.  ඇයගේ සැමියා එයට එකඟ නොවීය.  ගමේ නොසිටිය හොත් ගම්මිරිස් කැඩීමට ඇවිත් සිටි ප්‍රදේශවාසීන් පැන යාමට ඉඩ ඇතැයි ඔහුගේ නිගමනය විය.  ගෙදර ගිය පසු ඔහු හවස 6 ට පමණ මුහුදු වෙරල වෙත පා නැගුවේ තත්වය පරීක්ෂා කිරීමට ය.  විශාල රැල්ලක් මුහුදු වෙරල ආක්‍රමණය කරන බවත් එහි උස ඉහල නගින බවත් ඔහු දිටීය.  හනික ආපසු ගෙදර දිවූ ඔහු සිය බිරිඳත් දරුවනුත් සේවකයනුත් සමග කන්දේ සංචාරක බංගලාව කරා දුවන්නට විය.  ඒ අතර කන්දෙන් අහසට විසිවූ pumice රාත්‍රී 8 ට පමණ ඔවුන් මත කඩා හැලෙන්නට පටන් ගත්තේය.  මුළු පලාතම අඳුරකින් වැසී පැවතින.  ඒ අතර ඔවුන් පසුපස ලුහු බඳින සුනාමිය Beyerinck ගේ ඔෆීස් බිල්ඩිම විනාශ කරමින් තව තවත් ඉහලට නැගුණි.  සියල්ලෝම පොල්ගස් ඉහලට හනි හනික බඩ ගා වතුර ටිකක් බහින තෙක් සිටියහ.  වතුර මට්ටම යන්තම් පහල ගිය පසු නැවත දුවන්නට පටන් ගත් මිසිස් Beyerinck කුඹුරක් හරහා දුවද්දී මඩේ වැටින.  හිසේ සිට පය දක්වා මඩෙන් නැහැවුනු Beyerinck ඉදිරියෙන් දුවන සැමියා හට කෑ ගැසීමට අවශ්‍ය වූ මුත් කටෙන් ශබ්දයක් නිකුත් නොවීය.  බෙල්ල අත ගා බැලූ ඇයට ඇගේ බෙල්ල වටේටම “ඝන කරපටියක් සේ” කූඩැල්ලන් එල්ලී ඇති බව වැටහින.  සියළු දෙනා සංචාරක බංගලාව වෙත ලඟා වන විට මධ්‍යම රාත්‍රියට කිට්ටු වී තිබින.  ඊට පසුදා උදෑසන සංචාරක බංගලාව වෙත ලඟාවූ එක් සේවකයෙකු Beyerinck ගේ නිවස රාත්‍රී 2 ට පමන පදනමෙන්ම ගලවා ගෙන යාමට සුනාමිය සමත් වූ වග පැවසීය.  මුහුදු රැල්ල අඩි 120 ක් පමණ උසවූ කන්දක් මුදුනක තිබූ නිවසක් විනාශ කිර්‍රමට තරම් ඉහලට නැග තිබින.


මේ අතර මුහුදේ ගමන් කරමින් තිබූ නාවික යාත්‍රා කිහිපයක් කොහේවත් නැංගුරම් දමීමට අසමත් ව අතර මං වූහ.  එයින් එක් නැවක වූ චාර්ල්ස් බාල් (Charles Bal) හී කපිතාන් වරයා වූ වොට්සන් (W. J. Watson) පරිසරය පුරා පැතිර තිබූ අළු නිසා තම ලඟ සිටින මිනිසා නොපෙනන තරම් අඳුරක් පැතිර තිබූ බව වාර්තා කලේය.  ඔවුන්ගේ සිරුරුත් නැවේ ඉහල මාලයත් අළු වලින් වැසී ගොස් තිබින.  ඒ අතර මුළු මුහුද පුරාවම pumice වලින් වැසී ගොස් තිබින. 


ක්‍රැකටෝ පැත්තෙන් අඛණ්ඩව ඇසුණු පුපුරා යන ඝෝශාව උදෑසන 4 ට පමන පසු වෙනස් ස්වරූපයකට හැරින.  අඛණ්ඩ ඝෝෂාව වෙනුවට අතරින් පතර ඇසෙන අති විශාල ඝෝෂා බවට හැරින.  මේ අතරින් විශේෂයෙන්ම හැඳින් විය හැකි ඝෝෂා හතරක් විය. එකිනෙක පරයන එම ඝෝෂා උදෑසන 5:30, 6:44, 8:20 හා 10:02 ට ඇසින.  උදෑසන වුවද ඝන අඳුරේ මුහුදේ අතරමං වූ නැවක් වූ නෝහැම් කාසල් (Norham Castle) හී කපිතාන් සැම්සන් (Sampson)  විශාලම පිපිරුම වූ 10:02 පිපිරුම නිසා නැවේ සිටි නාවිකයන් භාගයක් පමණකගේ කන් අඩි පුපුරා ගිය බව වාර්තා කලේය.  එම සෑම ඝෝෂාවක් සමගම අති විශාල සුනාමි පැමිණියේය.  ඕලන්ද නාවික හමුදා යාත්‍රාවක් වූ Berouw බෙටොං (Betong) වරායේ නැංගුරම් ලා සිටි නැවකි.  7:45 ට පැමිණි සුනාමියෙන් නැවේ නැංගුරම් කැඩී ගියේය.  සුනාමිය නැව කොයිරිපන් ගඟේ (Koeripan river) මුවවිට අතහැරියේය.  11:03 ට පැමිණි මහා සුනාමිය නැව නැවත ඔසවා රට ඇතුලට හැතපුම් දෙකක් දුරට රැගෙන ගියේය.  අතහැර දමූ මෙම නැව 1980 පමණ වන තෙක් එතැනම තිබින.


අවසාන පිපිරීම් හතරේ ශබ්ද ජාවා සිට සැතපුම් 2968 දුරින් අප්‍රිකාවට කිට්ටුව පිහිටි රොඩ්‍රීගූස් (Rodriguez) දූපතේ සිටි ජේම්ස් වලිස් (James Wallis) නැමැත්තාට ඇසුනු බව ඔහු ලියා තැබීය.  ඔහු සිතුවේ ඈත පිහිටි යුධ නැවක කාල තුවක්කු හඬ ලෙසය. 


පැහැදිලිවම ලංකාවේ  මිනිසුන් හටත් මෙම හඬවල් ඇසිණ.  එයට සවන් දුන් කොළඹ වැසියෙක් සිතුවේ තිරිකුණමලේ ඇති නැව් වලින් කාලතුවක්කු පත්තු කරණ බවය.  අවසාන සුනාමිය ලංකාවට එනවිට එය අඩි 12 ක පමණ උසින් යුතු විය.  ලංකාවේ මුහුදු බඩ ජනගනනය දැන් තරම් නොවූවත් පානම හි කාන්තාවක් සුනාමියට අසුව මලේය.  


[හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් විසින් 2018 දෙසැම්බර් 23 දා Sunday Times පුවත්පතට ලියන ලද “Stories from the waves before 2004 tsunami” නම් ලිපියෙහි 1883 සුනාමිය ගැන ලංකාවේ ඇසින් දුටුවන්ගේ නිරීක්ෂණ එකතු කොට ඇත.]


පිපිරීම නිසා ඇති වූ කම්පන තරංගය (shock wave) ලොව වටා හත් වරක් ගියේය.  ව්‍යසනයේ කෙලවර ගිණුම් අනුව ගම් 165 ක් විනාශ වී 36,417 ක් මිය ගියහ.  ව්‍යසනයෙන් වසරකට පමණ පසුව 1884 දීද සැන්සිබාරයේ (Zanzibar) මුහුදු වෙරලට pumice ගල්ද, මිනිස් හිස් කබල්ද, ඇටකටුද, පා වී ඇවිත් තිබින. 


පිපිරීම අවසන ක්‍රැකටො දූපතේ ඉතිරි වූයේ රකාටා ගෙන් භාගයක් පමණි.  ඉතිරි දූපතම පුපුරා ගොසින් තිබිණ.  


1930 දී ක්‍රැකටෝ තිබුණ තැනින් මුහුද තුලින් ඇළුත් දූපතක් උපන්නේය.  ලාවා වලින් උපන් මේ දූපත දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.  මෙම දූපතෙහි වර්ධනය වසරකට අඩි 22 ක් පමණ වේ. දැනට එහි උස අඩි 945 ක් වේ.  මෙම දූපත "ක්‍රැකටෝගේ පුතා" (Anak Karakatoa) ලෙසින් හැඳින් වේ.  අනාගතයේ යම් දිනක ක්‍රැකටෝ ගේ පුතාද ක්‍රැකටෝ මෙන් පුපුරා යනු ඇත.


සර්තුං හා පැන්ජං දුපත් මීට කලින් සිදුවූ පුපුරා යාමක නටබුන් ලෙස හැඳින් විය හැක.   මීට අවුරුදු 60,000 කට පෙර පුපුරා ගිය ක්‍රැකටො වක සාධක හමු වී තිබේ.  1860 ගනන් වලදී ජාවා හී පුරාණ ලියකියවිලි පරීක්ෂා කොට “Book of Kings” නැමැති පොත ලියූ ජාවා ජාතික කවියෙකු වන  Raden Nganahi Ranggawarsitha ක්‍රි. ව. 416 දී එවක තිබූ ක්‍රැකටො පුපුරා ගිය බව ලියා ඇත.  මේ පිපිරීම ගැන සෙවූ විද්‍යාඥයින් ක්‍රි. ව. 535 දී සිදුවූ පිපිරීමක සාධක සොයා ගෙන ඇත.  එලෙස පිපිරීමක් සිදුවූවා නම් ඒ ගැන සටහනක් චූලවංශයේ ලියා ඇත්දැයි සොයා බැලුවෙමි.  එම වර්ශයේ ලංකාවේ රජ කලේ සිලාකාල ය.  ඔහුගේ රජ කාලයේ වූ දුර්භික්ෂයක් ගැන සටහනක් ඇත.  


මේ අතර විශ්මයජනක—take with a grain of salt kind—වාර්තා ද ඇත.  එක් අයෙකු පවසන අන්දමට ඔහු බේරී ඇත්තේ මෙසේය.  ඔහු එදා රාත්‍රී නින්දට ගියේය. පසුදා ඇහැරී බලන විට ඔහු ඇඳ සමගම කන්දක් උඩ සිටියේය.  තවකෙකු සුනාමියේ රැල්ලට අසුවී රට ඇතුලට පාවී යද්දී ඔහු අසලට කිඹුලෙක් පැමිණ ඇත.  කිඹුලා පිට නැගුණු ඔහු කිඹුලාගේ ඇස් කුහර තුලට ඇඟිලි යවා තදින් අල්ලා ගෙන ගොඩ බිමකට එන තෙක් සිට සිට බේරී ඇත.  (මෙම කියමන් හා Mrs. Beyerinck ගේ කරවටා වූ කූඩළු කරපටියේ වෙනස වන්නේ ඇගේ බෙල්ලේ එක කූඩැල්ලකු හෝ එල්ලී සිටින්නට ඇතැයි සිතිය හැකි බැවිනි.)


මෙවන් ගිණි කඳු පුපුරා යන්නට හේතු, පොලොවේ ඇති ගිණි කඳු වලල්ල, ගිනි කන්දක් පුපුරා යෑම නිසා වෙන පරිසර වෙනස්කම්, ලෝක උශ්ණත්වයේ පහල වැටීම, ඒ නිසා සිදුවන බෝග හා වැවිලි විනාශ වීම්, අයිස් කුහර හා ගස් වලලු නිරීක්ශණය කිරීම් මගින් පැරණි ගිණි කඳු පිපිර්‍රම් වල කාල නිර්ණය කිරීම්, Wallace line, Curie point, gravimeters, magnetometers, Cretaceous quiet zone, plate tectonics, subduction, ලෝකයේ විශාලම මල, segregation in Dutch East Indies, slaves from India and Burma in Dutch East Indies, Dutch life in Batavia, recording barographs, Hajji Abdul Karim ගේ කැරැල්ල, self fertilizing orchids in Anak Krakatoa, සහ කතුවරයා Anak Krakatoa කඳු මුදුනට නැගීම වැනි තොරතුරු වලින් සමන් විත මෙම පොත ඉතාම ඉහලින් නිර්දෙශ කරමි.


ප. ලි. මෙම කතුවරයා ගැන මට කීවේ මට The Library Book පොත දුන් යෙහෙලිය මය.  ඇය වර්ණනා කලේ මෙම කතුවරයාගේ The Professor and the Madman යන පොතය.  ඇගේ කියමනට මෙම කතුවරයාගේ පොත් කිහිපයක්ම මා සතු කර ගත් මුත් කියෙව්වේ නැත.  දැන් මෙය කියවන්නට හේතුව මීට කලින් කියවූ The Volcano That Changed the World පොතෙහි ක්‍රැකටෝ ගැන සඳහන් වූ බැවිණි.

No comments:

Post a Comment