Monday, May 24, 2021

දිගාමඬුල්ලේ ආශ්චර්ය

කතෘ: මායාරංජන්
ප්‍රකාශක: සුරස

මායාරංජන් ගේ දිගාමඬුල්ලේ ආශ්චර්ය කියවීමි.  ඔහුගේ මතය අනුව වැව්ගම් පත්තුවේ විසූ ජනයා 1918 කැරැල්ල මර්ධනයෙන් අනතුරුව කැලෑ වැදුනු ඌව පලාතේ විසූ ජනයා ගෙන් පැවතෙන්නෝ .  පසු සඳහන් සටහන මායාරංජන් ගේ මේ මතය එලෙසම පිලිගැනූමෙන් අනතුරුව කෙරෙන්නකි.


කැලෑවත්, කැලෑවේ ජීවිතයත්, කැලෑවේ දී හමුවන පැරණි නටබුන්, හා කැලෑවේ ජීවත්වන්නන්ගේ ජීවිතත් ගැන මනා කුතුහලයකින් යුත් සහ මේ සැම ගැන කැලෑවේ ජීවත්වන්නන්ට වඩා දැනුමකින් යුත් කැලෑවට "මෑත දී" ආ මායාරංජන් ට ලෙසම මේ පොත කියවූ මාහටද වැව්ගම් පත්තුව ආශ්චර්යක් ම විය.  ආර්. කේ. නාරායන් ගේ The Painter of Signs හී රාමන් ගේ නැන්දා ගේ සරල දිවි පැවැත්ම ගැන කියවීමේ දී ලද සන්සුන් ආශ්වාදයම මෙම පොත කියවීමේදී යම් යම් තැන් වලදී ලැබින.


කඩ කීපයක් සහ තැපැල් පොළක් වූ ගම කෙළවර, වැව අයිනේ ගමේ දිස්පැන්සරිය විය.  එහි සිටියේ මා හඳුනන දෙමළ දොස්තර මහතෙකි.  ඔහුට කතා කොට පැදුරු කැබලක් ඉල්ලාගෙන, ආලින්දයේ එය එළා රැය ගත කරන්නට සැරැසුණෙමි.


රැය තවත් ගැඹුරට ගොස් ගම ම නිහඬව නිදද්දී, මුදුනට පැමිණි සඳ එළියෙන් වැව් දිය බැබැළෙන්නට විය.  ගමනින් කෙතෙක් වෙහෙසව සිටිය ද, මට ඒ දර්ශනය අතරින් පැරැණි දිගාමඬුල්ලේ ආශ්චර්යවත් ශ්‍රී සමෘද්ධිය චමත්කාරව පෙනී ගියේය!” [21 වන පිට]


(රාමන් ගේ නැන්දා නිදාගත්තේ බිම පැදුරක් වත් නොමැතිව .)


එකදාස් අටසිය ගනන් වෙන තෙක්ම ලෝකයේ වෙනත් ශිෂ්ටාචාර වලින් හුදකලාව (ගල් යුගයේ) ජීවත් වූ පැපුවා නිව් ගිනි වැසියන් පිලිබඳව අධ්‍යයන කල University of California Los Angeles හී ආචාර්ය Jared Diamond ට අනුව පැපුවා නිව් ගිනි වැසියන් කැලෑවේ ඇති සෑම ගසක් මුලක් ගැනත් ඒවා බෙහෙත් ලෙස පාවිච්චි කල හැකි අන්දමත් හොඳින් දැන සිටියහ.  (නවීකරණයේ ප්‍රතිපලයක් හැටියට මෙම දැණුම එම වැසියන් වෙතින් ගිලිහී යන බවට Diamond පසුතැවිලි වේ.)


1818 දී වැව්ගම් පත්තුව ට (මායාරංජන්ට අනුව මෙම නම නූතන වචනයකි.) ආ ජනයා කොතරම් පරිහානියකට පත් වූවාද යත් ඔවුන් අතර මෙම සුළු කාලය තුල මිනිස්කම් ද නැතිව ගියා සේය.  බොහෝ විට ඔවුන් කිසි සහයෝගයකින් තොරව තනි තනිවම තම තමන්ගේ වැඩ කරගත්හ.  කැලයේ පැරණි බෙහෙත් උයනක් ඔවුන් අතළඟ වූවත් එය පරිහරිනය කල හැකි කිසිවෙක් ඔවුන් අතර නොවූහ.  


“වැව්ගම් පත්තුවට වෛද්‍යයන් නැති බව කලින් ද සඳහන් විය.  සමහර ගමක සුළු බෙහෙත් කීපයක් දන්නා අය ඇතත් ඇතැම් ගමකට එයද නැත. ඖෂධ අඳුනන්නන් ද නැත.


මෙසේ පුරුදු නැති කම නිසා ම දෝ ඔවුන් බොහෝ දෙනෙකුට මන්තර ගැන මිස ඖෂධ ගැන විශ්වාසයකුත් නැත. […] එහෙයින් වතුර මැතිරීම, තෙල් මැතිරීම, නූල් බැඳීම, දෙහි කැපීම, හූනියම් කැපීම යන මේවා වැව්ගම් පත්තුවට වෛද්‍ය හා සෞඛ්‍ය සේවය යි කිව යුතුය.” [115 වන පිට]


මන්තර වලට ඇති බිය නිසා මෙම ගම්වලට වූ එක් සේවයක් ගැන නම් සිතා ගත හැක. පොතේ කොතැනකවත් මෙම ගම් වල මැරවරයින් සිටි බවට වාර්තා වී නැත.  


මෙම පොත කියා අවසන මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලංකා සිතියමක් පරීක්ෂා කලෙමි.  වැව්ගම් පත්තුවක මායිමක් වත් සොයා ගැනුමට නැත. පල්ලම් ඔයටත්, ඒ අවට පරිසරයත්, එහි ගැවසුනු අලින්ටත්, යෝද ඇලටත්, යෝද ඇලේ පන්සලටත් කුමක් වූවාදැයි කුතුහලයක් ඇති වේ.  ඒ කෙසේ වෙතත් මැරවරයින් ගේ අඩුව නම් සමහරවිට පිරිමැසී ඇතැයි අනුමාන කල හැක.




No comments:

Post a Comment