Monday, May 24, 2021

ඉක්බිතිව ඔහු මරාපීහ

කතෘ: පී.බී.ජයසේකර
ප්‍රකාශක: සුරස


ඉතිහාස නවකතා නැමැති කාන්තාරයේ දිගින් දිගටම ඇවිද, නොයෙකුත් භාෂා ශෛල්‍යයන් නැමැති වැලි කඳු තරණය කොට, විද්‍යා නවකතාවක් යැයි කියා ගන්නා මිරිඟුවක් පසුපසත් දිව ගොස් හොඳටම තෙහෙටිටු වී, සා පිපාසාවෙන් පෙලෙමින් වැනි වැනී ආ මට “ඉක්බිතිව ඔහු මරා පීය” නැමැති ක්ෂේම භූමිය හමු විය.


කරෙන් උස්සා ගෙන පැමිණි සියලු බර බිම හලා සම්පූර්ණ දිනක් පුරා මෙම ක්ෂේම භූමියේ අස්සක් මුල්ලක් නෑරම සතුටින් හා සැහැල්ලුවෙන් ඇවිදීමි.  මේ දිනය මා හට නව පනක් ලද්දාක් වැනි විය.


මෙම පොත ගැන සවිස්තරාත්මක විග්‍රහයක් නලීන්ද්‍ර වීර්පිටිය මහතා ඔහුගේ බ්ලොගයේ තබා ඇත.  නලීන්ද්‍ර ගේ සටහනෙන් පොත ගැන හොඳ වැටහීමක් ලද හැකි බැවින් ඒ ගැන වැඩි දුර නොලියමි.

(https://me-and-err.blogspot.com/2018/05/PBJ-2016.html


අද මෙන්ම එදාත් propaganda (fake news) මගින් මිනිසුන් මුලා වූ හැටි පෙන්වා ඇති නිදසුන් කිහිපයක් සටහන් කරමි.  බහුතර ජනයා මෙවැනි වලින් මුලා වීම් වලින් වැලැක්වීම කවදාවත් කල හැකි දෙයක් යැයි ද නොසිතමි.


(1) කඳවලවලව්වේ පැවති සාදයකට ඌරු පැටියෙකුගේ මල සිරුරක් එවැනි මස් විකුණන තැනකින්  ගෙන්වා පුළුස්සා ගන්නා ලදි.  නමුත් "කතාව" පැතිර ගියේ මෙසේය.


“හරක් පැටියෙකුට බඩ පිරෙනකම් ගවකිරි පොවා ඉන් අනතුරුව ඌ මරා මස්කර පැටියාගේ බඩවැලෙහි තිබූ උකු වූ කිරිත් සමග පුළුස්සා කොතලාවල සාදයක් පැවැත් වීය.”


බණ්ඩාරනායක සත්‍යය දැන සිටි මුත් මෙම කතාව නිවැරදි කරන්නට නොගියේය.


(2) Colombo Tribune නැමැති "ශාස්ත්‍රීය" සඟරාවක පහත සඳහන් "ශාස්ත්‍රීය" කතාව පල විය.


දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණි නීලපෙරුමාල් නැමැත්තෙක් නවගමුව දේවාලයේ නායක කපුවා (පෙරිය පන්ඩාරම්) විය. පසුව එය "පණ්ඩාරම් නායක" විය.  ඒක තමයි පසුව “බණ්ඩාරම් නායක” වුනේ.


(3) යූඑන්පියේ ප්‍රචාරක පුවත්පත වූ "සියරට" මුද්‍රණකරුවා උතුර, නැගෙනහිර, පදවිය, පොලොන්නරුව පැති වල සංචාරයක යෙදී ඇත.  එහිදී “ඔහු බණ්ඩා දෙමළෙකි, ඌ සිංහලයන්ට ද්‍රෝහීය” ය යන පාඨ සහිත පත්‍රිකා සිංහල ජනයා වැඩි ප්‍රදේශ වල ද, “සිංහල බෞද්ධ බණ්ඩා දෙමළුන් රටෙන් පන්නා දමන්ට කටයුතු කරයි” යන පාඨ සහිත පත්‍රිකා දෙමල ජනයා වැඩි ප්‍රදේශ වල ද බෙදා හැරිය බව අනාවරණය විය.  අවසානයේ හදිසි නීතිය යටතේ සියරට මුද්‍රණකරුවා අත් අඩංගුවට ගන්නා විට බොහෝ දේ සිදු වී හමාරය.


මෙම පොත ඉතා හොඳ නවකතාවකි.



No comments:

Post a Comment