Tuesday, May 25, 2021

ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම

කතෘ: වෛද්‍ය අජිත් අමරසිංහ
ප්‍රකාශක: කතෘ ප්‍රකාශනයකි. 2014



අමරසිංහ මහතා පොත් පත් සඟරා විශාල ගනනක් පරිශීලනය කොට ලියන ලද මහඟු කෘතියකි.  ඒ මහතා Royal Asiatic Society of Sri Lanka (RASSL) හි සාමාජිකයෙක් වන අතර RASSL හි පැරණි සඟරා විශාල ගනනාවක් ද විමසුමට ලක් කොට ඇත.  මෙහි මා තබන සටහන මෙම පොත කියැවීම නිසා මා තුල හටගත් සිතිවිලි ය.  අමරසිංහ මහතාගේ නිගමන ඒ ආකාරයෙන්ම කියැවීමට අවශ්‍ය නම් මෙම පොත සොයා ගෙන කියවන්න.


"ශෙන් හේ" ගේ නායකත්වයෙන් යුතු චීන නාවික හමුදාවක් ලංකාවට ලඟා වන විට ලංකාවෙහි සිටි බලවත්ම පාලකයා යාපන රාජධානියේ රජකල ආර්ය චක්‍රවර්ති කෙනෙකි.  ඔහුගේ රාජධානියේ සීමාව හලාවත පමණ වනතෙක් පැතිර තිබුණ අතර ඔහු විසින් මීගමුව, වත්තල, මොරටුව, හා මාතලේ යන ප්‍රදේශ වලට විටින් විට ප්‍රහාර එල්ල කලේය.  එවකට ගම්පොල රාජධානියේ සිටියේ දුර්වල රජෙකි.  ඔහුගේ සෙන්පතියන් ලංකවේ විවිධ පලාත් වල යුවරජුන් ලෙස සිටියහ.  ආර්ය චක්‍රවර්ති ගේ ප්‍රහාර මැඩ පවත්වන්නට සමත් වූ එක් යුවරජෙකි රයිගම විසූ වීර අලකෙශ්වර.  චීන නාවිකයින් ගොඩ බැස්සේ රයිගමට නුදුරු බේරුවල වරායටයි.  වීර අලකෙශ්වරයන් මෙම චීන නාවිකයන් සුහදව පිලිගත්තේ නැත.  රාජ තන්ත්‍රික වෙලඳ සඹඳතා පිහිටුවීමට අසමත් වූ චීනුන් කිසි කලබලයක් නොකොට කැලිකට් බලා පිටත්ව ගියහ.


සමහර විට, ලංකාවේ දෙශපාලන තත්වය හොඳින් හැදෑරූ ශෙන් හේ නැවත ලංකාවට ආවිට වීර අලකේශ්වරයන් ජීව ග්‍රාහයෙන් අල්ලා ගැනීමට සමත් විය.  ලංකාවේ මිනිසුන් සිතුවේ අලකෙශ්වර චීන මායමකට අසුවූ බවයි.  අලකෙශ්වර චීනයට ගෙනයෑම නිසා හිස් වූ රයිගම යුවරාජ තනතුරට රජපෙලපතට නෑකම් ඇති 16 හැවිරිදි තරුණයෙක් හයවන පැරකුම්බා නමින් පත් විය.  තුන් වසරකට පසු හයවන පැරකුම්බා කෝට්ටේ ජයවර්ධන පුර ඔහුගේ අගනුවර බවට පත් කලේය.


පස්වසරක් තුල ගම්පොල රාජධානිය ආක්‍රමණය කොට දළදා වහන්සේ තමන් සතු කර ගැනීම සමග පැරකුම්බා දකුණු දිග ලංකවේ රජු බවට ස්ථීර විය.  ඉතා තීක්ෂණ බුද්ධියකින් කටයුතුකල පැරකුම්බා රජු සටනෙහි දක්ෂ කුමාර වරුන් තිදෙනෙක් දරු කමට හදා ගත්තේය.  (ඔහුට සිටියේ දුවෙක් පමණි.)  මේ කාලයේ දකුණු දිග ආසියාවේ බලවත්ම අධිරාජ්‍යය විජයනගර් අධිරාජ්‍යයයි.  හයවන පැරකුම්බා කෝට්ටේ බලය තහවුරු කරන අතර යාපනේ  සිටි ආර්ය චක්‍රවර්ති විජයනගර් අධිරාජ්‍යයට යටත්ව සිටියේය.  විජයනගර් අධිරාජ්‍ය දුර්වල වන තුරු අවුරුදු තිස්පහක් පමණ බලා සිටි පැරකුම්බා රජු තම හදා ගත් පුතුන්ගේ උදව්වෙන් යාපනේ රාජධානිය යටත් කොට එවක සිටි ආර්ය චක්‍රවර්ති පලවා හැර මුළු රටෙහිම රජ බවට පත්විය.  ඔහුගේ එක් හදාගත් පුතෙක් යාපනයේ යුවරජ ලෙසද, තවකෙක් දැදිගම යුවරජ ලෙසද පත් කරණ ලදි.


තෙවන පුතා චීනයේ අධිරාජයා වෙත දූතයෙක් හැටියට පිටත් කර හැරි අතර ඔහු චීනයේ පදිංචි විය.  මේ තුන්වන පුතාගෙන් පැවත එන්නවුන් දැනට තායිවානයේ ජීවත් වෙයි.  කතු තුමා ඔවුන් හමුවීමට ගොස් ඇත.


පොත අවසානයේ පිටු 63  උපග්‍රන්ථයක් එකතු කිරීම තුලින් අමරසිංහ මහතා ඔහු පරිශීලනය කල වැදගත් ග්‍රන්ථ හා ශිලා ලිපි කිහිපයක් කියවන්නාට ලබා දෙයි.  හොඳ පොතකි.

No comments:

Post a Comment