Wednesday, May 26, 2021

බලකොටු සහ නෞකා

කතෘ: භද්‍රජී මහින්ද ජයතිලක 
ප්‍රකාශක: සරසවි 2018 


අප විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයේ අප අතර "කතා කාරයෙක්" සිටියේය.  ඔහු දිනක් අපෙන් "වලසා සහ වංගෙඩිය" යන කතාව අසා තිබේදැයි විමසීය.  අපි නැතැයි කී විට ඔහු කී එම කතාව කෙටියන් මෙසේය.


ගමයෙක් ගඟක් ලඟ ගසක අතු කපමින් සිටින විට ඔහුගේ පොරොව ගඟට වැටින.  කනස්සල්ලෙන් සිටි ගමයා වෙත තාපස වේශයකින් පැමිණි සක් දෙවිඳු ගඟේ කිමිද රන් පොරොවක් ගෙන විත් මෙයද නුඹේ පොරවද? යනුයෙන් විමැසීය.  ගමයා නැතැයි පැවසූ විට නැවත ගඟේ කිමිදුනු තාපසයා රිදී පොරොවක් රැගෙන පැමිණ එය ගමයාගේ පොරොව දැයි විමසූ විට නැවතද නැතැයි යනුවෙන් පිළිතුරු ලැබින.  නැවත වතාවක් ගඟේ කිමිදුනු තාපසයා ගමයාගේ පොරොව රැගෙන පැමිණි විට සතුටෙන් ඉපිලුනු ගමයා එය ඔහුගේ පොරොව බව කීය.  ගමයාගේ අවංක භාවය ගැන පැහැදුනු සක් දෙවිඳු පොරෝ තුනම ගමයාට දී ආපසු දෙව් ලොව බලා ගියහ.  ඔන්න ඕකයි වලසා සහ වංගෙඩිය නම් කතාව.


අන්දුන් කුන්දුන් වූ අපි ඕකට වලසා සහ වංගෙඩිය කියන්නේ ඇයි දැයි විමසූ විට ඔහුගේ පිලිතුර මෙසේය.


ඔය ගහ ලඟින් ඊට පෙර දිනයේ වලසෙක් ගිහින් තියෙනවා.  එතකොට වංගෙඩිය?  ගමයා ගෙදර එනකොට අග්ගලා හදන්න ගම මහගේ වංගෙඩියේ පිටි කොට කොටා ඉඳල තියනව එදා.


මෙම පොතට "බලකොටු හා නෞකා" කියා නම් තබා ඇත්තේ එවැනි හේතූන් නිසා විය යුතුය.  කථාව යන අතර තුරේ පරංගි බලකොටු හැදුවනේ.  එතකොට නෞකා?  ඇයි මුහුදේ නෞකා ගියානේ.


මේ හෑල්ල මෙතෙක් දුර කියවූවෙක් හට මට මෙම පොත ගැන හොඳ හිතක් නැති බව වැටහෙනු ඇත.


මෙම පොතෙහි සමහර පරංගි වචන සිංහල භාශාවට ඇතුල් වූ සැටි, පරංගි ලංකාවේ භාවිතා කල වචන හා තේරුම්, කාලේ තිබුනු ගම් වලට නම් ලැබුනු සැටි ආදී දේ ගැන  කියවන්නාට "අධ්‍යාපනයක්" ලබා දෙන්නට උත්සාහ කරයි.  එනිසාම දෝ කතාවට අනවශ්‍ය ලෙස දික් කොට ඇති අතර කියවීම එපා කරවයි.  


පිටු 50 ක් පමණ කියවා අතහැර දැමූ මෙම පොත නැවත කිය වීමට පටන් පටන් ගත් පසු කියවා අවසාන කිරීමට අවුරුද්දකට වඩා කාලයක්  ගත වූයේ මෙය එක දිගට කියැවීම කරදරයක් වූ බැවිනි.  පොතේ මුල සිට අගට ගාලු තොටට "ගාලි තොට" යැයි සඳහන් කිරීම එක් උදාහරණයකි. එම නම බිඳී ආවේ ආවේ "කාලි තොටෙන්”  ලු.


පොත කියැවීම සම්පූර්ණයෙන් ම කාලය කා දැමීමක් නොවූයේ මොහුගේ "කතා" ගැන සැක සිතුනු වේලා වල වෙනත් ග්‍රන්ථ පරිශීලනය කල බැවිනි.  පේරාදෙනිය විශ්ව විද්‍යාලය මගින් ප්‍රකාශයට පත්කරන ලද "ලංකා ඉතිහාසය 1 කාණ්ඩය II භාගය එවැනි පොතකි.  මෙම ග්‍රන්ථය සංස්කරණය කොට ඇත්තේ සර් නිකලස් ආටිගල, ඩබ්. ජේ. එෆ්. ලබ්‍රෝයි, එස්. නටේසන්, සී. ඩබ්. නිකලස්, හා සෙනරත් පරණවිතාන යන මහත්වරුන් විසිනි.  මේ ග්‍රන්ථයට අනුව පොලොන්නරු යුගයේදී "ගිං ගඟ" ට තිබූ නම "ගාලු නදී" යන්නයි.  ගාල්ල තිබෙන ස්ථානයේ එකල "ගිම්හාතිත්ථ" නමින් ගමක් තිබී ඇත.  

(මෙම කතාව කියවන අතරතුර පරිශීලනය කල තවත් පොත් වන්නේ “The Kingdom of Jafanapatam 1645” by P. E. Pieris, and “Ceylon, The Portuguese Era” by P. E. Pieris.)


කතු තුමාට හොඳටම වැරදුන තැන හමුවූ විට සාහසික ආශාවක් ඇති විය.  

(393 පිට)

“'මොනව වෙලාද රජ්ජුරුවො මැරුණෙ ..."

“"වෙඩි වැදිල …”

[…]

"කව්ද මිනිහ.  ඉතින් අල්ලාගත්තද?”

"ඔව් ඔව් වේලාවෙම අපේ මිනිස්සු පරංගියා අල්ලාගත්තා." […]

"මැරෙන්න කලින් මිනිහම කිව්වලු පරෙයියෙකුට වෙඩි තියන්න ගියා කියලා..."

[…]

" කතන්දර හොඳා කොන්ඩෙ බැඳපු චීනුන්ට..."


මෙම කතාව ගෙතෙන්නේ 1505 සිට 1597 මැයි මස 7 වන දින දක්වාය.  චීනයේ චිං රාජවංශය (qing dynasty) බලයට ආවේ 1644 දීය.  ඉතිරි හරිය ඔබම කියවා බලන්න. 

 https://en.wikipedia.org/wiki/Queue_(hairstyle) 


ක්ලින්ටන්ගේ ආණ්ඩුවේ ආරක්ෂාව සඳහා ජාතික සම්බන්ධීකාරක ලෙස සේවය කල රිචර්ඩ් ඒ ක්ලාක් මහතා පසු කලෙක නවකතාවක් ලිව්වේය.  එහිදී ඔහු සඳහන් කලේ වාර්තාවකින් ලිවිය නොහැකි දේ නවකතාවකින් ලිවිය හැකි බවයි.  මෙයද එම ගනයට වැටෙන නවකතාවක් දැයි සැකයක් මට ඇත.

No comments:

Post a Comment