Monday, May 24, 2021

ශ්‍රී ලංකාවේ ආදි ඉතිහාසය—කෙටි හැඳින්වීමක්

කතෘ: රාජ් සෝමදේව
ප්‍රකාශක: ගුරුළුගෝමී 2016


ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය, මූලික නාගරික අවඩිය, පරිනත නාගරික අවඩිය ගැන දැනට සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධක, වංශ කතා ග්‍රන්ථ හා සෙල් ලිපි සමග සන්සන්දනය කරමින් ලියා ඇති ඉතා අගනා ග්‍රන්තයකි මෙය.  


ලංකාවටම අනන්‍ය වාරිකරිමාන්තය දියුනු වූ සැටි පිලිබඳව තර්කානුකූල මතයක් ඉදිරිපත් කිරීම ගැන ඉතාම සතුටු වෙමි.  ඒකාබද්ධ ගම් සඳහා පිහිටවනු ලැබූ "එලංගා" වැව් පද්ධති ගැන මේ දිනවල අවධානයක් යොමු වී තිබේ.  මේ වැවි පද්ධති සඳහා යෙදිය යුතු හරි වචනය "වැව් ප්‍රපතනය" බව ආචාර්ය සෝමදේව මහතා පෙන්වා දෙයි.  එහෙත් නගර ඇතිවීමත් සමගම මධ්‍ය ප්‍රමාණයේ සහ මහා ප්‍රමාණයේ වැවි සෑදීමට පාලකයන් හට සිදුවිය.  නූතන ලංකාවට නැවතත් "වැව් ප්‍රපතනයන්" අවශ්‍යද? එසේ නම් ඒ කුමන පලාත් වලටද? ඒ සඳහා නියමු පරීක්ෂණයක් කල හැකිද? යන ප්‍රශ්ණ වලට පිලිතුරු සොයාගැනීමට අවශ්‍යය.  


ලංකාවටම ආවේනික වූ ලංකාවේ අනන්‍යතාවය තහවුරු කරන දෙයක් ලෙස මා මෙතෙක් සිතා සිටියේ ලංකාවේ ආදී වාරීකර්මාන්තයයි.  එහෙත් මේ පොතෙහි සඳහන් කරුණු තවදුරටත් සනාථ කරන සාධක තව දුරටත් හමුවන්නේ නම් ලෝකයේ මුල් වරට යකඩ මෙවලම් භාවිතා කල ජාතියක් ලෙස ලාංකිකයන් හැඳින් විය හැක.


ආදි සිංහලයන්ගේ නාගරික සංවර්ධන හා වැව් කර්මාන්ත හැකියාවන් ගැන ආඩම්බර වියයුතුය.  මෙය මේ කාලයේ ඉතාම අවශ්‍ය පොතකි.  ඉතිහාසය ගැන නොදන්නා, නොයෙකුත් විකල්ප ඉතිහාස මිත්‍යාවන් පිළිගන්නා, හා විස්වාස කරන පිරිසක් සිටින සමාජයක සියළු දෙනා විසින්ම කියවිය යුතු පොතකි.


මෙය සැබැවින්ම කෙටි හැඳින්වීමකි.  පුරාවිද්‍යා කාල නිර්ණය සඳහා ලංකාවේ යොදාගන්නා ක්‍රම ගැනවත් සුළු විස්තරයක් ඇතුලත් කලා නම් හෝ ඒ පිළිබඳව නිර්දේශන පොත් ගැන සටහනක් තැබුවා නම් ඉතා අගනේය.


ආචාර්‍ය සෝමදේව මහතා පොත අවසන මෙසේ සඳහන් කරයි.


“දේශීය දැනුම යනු රටක් සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන සංකල්පීය මෙවලමක් බව දැන් ජාත්‍යන්තර මට්ටමින් පිළිගනු ලබයි.  යුරෝපයේ ප්‍රධාන ජාතීන් තුනකට යටත් වීමෙන් පසු අප ලද දරුණුතම පරාජයක් වූයේ ශ්‍රී ලාංකිකයන් සතු දේශීය දැනුම යටපත් කරලීමයි.  අනුන්ගේ දැනුමින් කටයුතු කරන්නට යෑමෙන් පසුගිය අවුරුදු තුන්සියයකට ආසන්න කාල තුළ අප රටක් වශයෙන් ඇද වැටී තිබෙන ප්‍රපාතය බියකරු යැ. එය දැන් අපට අපේ ඇස් ඉදිරිපිටම පෙනෙන්නට පටන් ගෙන තිබේ.”


මේ කියමන ගැන වඩා සවිස්තර දෙශන හා සංවාද ඇතිවිය යුතුය.  මේ  ගැන කටයුතු කිරීමට ප්‍රාග්ධනය හා හැකියාව ඇත්තන්ගේ අවධානයට මෙම පොත ලක් විය යුතුය.


මෙම පොත කොළඹ බෞද්ධාලෝක මාවතෙහි පිහිටි පුරාවිද්‍යා පස්චාත් ආයතනයෙන් රුපියල් 400 කට ලබාගත හැකිය.

No comments:

Post a Comment