Tuesday, May 25, 2021

Faceless Killers

කතෘ: Henning Mankell
පරිවර්තක: (ස්වීඩිශ් භාෂාවෙන් ඉංග්‍රීසියට) Steven T. Murray
ප්‍රකාශක: Vintage Books 2003


මෙය මැන්කල් විසින් ලියන ලද මුල්ම විලැන්ඩර් අභිරහසයි.  (මෙම සංසදයේ මීට කලින් ඇතුලත් කල An Event In Autumn පිළිබඳ සටහන කියවන්න.)


මේ වනවිට වොලැන්ඩර් ගේ බිරිඳ ඔහු හැර ගොස් වැඩි කලක් නොමැත.  ඔහුගේ දුව ද හිතුමතේ ගෙදරින් පිටව ගොස් ඇත.  ඔහුගේ සිහි මඳ මහළු පියා ඔහුව නොරුස්සයි.  එහෙත් තනියෙන් ජීවත් වන මහළු පියා ගැන නොසලකා සිටීමට ද නොහැක.  මෙවැනි පුද්ගලික කරදර රැසක් මැද ජීවත් වන හතලිස් විය පසු කල පොලිස් රහස් පරීක්ශකයෙකි වොලැන්ඩර්.


ඔහුගේ පොලිස් වසමට අයත් ගොවිපොලක ජීවත්වූ ගොවියෙක් සාහසික ලෙස මරා දමා ඇත.  පොලීසිය පැමිනෙන විට ගොවියාගේ බිරිඳද මරණාසන්න තත්වයේ සිහිසුන් ව සිටී.  රෝහලේ ද සිහිසුන්ව දින කිහිපයක් ගත කල ඇය මැරෙන්නට සුළු වේලාවකට පෙර අවදි විය.  ඇය මැරෙන්නට පෙර එතැන සිටි පොලිස් ආරක්ෂකයාට කීවේ එක වදනකි.  “Foreigner”.


1990 වර්ෂය වන විට ස්වීඩනයට පැමිනෙන සංක්‍රාමණිකයන්ට විරුද්ධ අදහස් ඇති ස්වීඩන ජාතිකයින්ගේ ප්‍රමාණය ඉහල යමින් පැවතින.  එබැවින් ගොවියාගේ බිරිඳ කල ප්‍රකාශය වසන් කර තබාගැනීමට වොලැන්ඩර් අදහස් කලේය.  එහෙත් පොලිසියේ කිසිවකු විසින් මෙම තොරතුර පුවත් පතකට හොර රහසේ දී ඇත.  එතැන් සිට සංක්‍රාමණිකයන්ට විරුද්ධ අන්තවාදීන් සංක්‍රාමණිකයන්ට සිටින කඳවුරු ගිනි තබන බවට තර්ජනය කලෝය.


මෙවැනි බියකරු වාතාවරණයක් මැද මෙම අභිරහස විසඳීමට වොලැන්ඩර් සහ ඔහුගේ සගයින් ඉමහත් වෙහෙසක් ගනී.


මෙම පරිවර්තනය An Event In Autumn පරිවර්තනයට වඩා ඉතා හොඳ බව කිව හැක.  මෙය අභිරහස් ගනයේ නවකතා අතර ඉහලින් තැබිය හැකි නවකතාවකි.  මේ පොත් කියවන අතර ස්වීඩන රූපවාහිනී නාට්‍ය කිහිපයක් ද නැරඹුවෙමි.  ස්වීඩන්/නෝර්ඩික් කතාවලට මගේ ආසාවක් ඇති වී ඇත.  එයට හේතුව මෙම කතාවල සිටින්නේ සාමාන්‍ය මනුශ්‍යයන් බව වැටහෙන හෙයිනි.

No comments:

Post a Comment