Tuesday, May 25, 2021

මිහි සරණ

කතෘ: ඇරැව්වල නන්දිමිත්‍ර
ප්‍රකාශක: ගොඩගේ 2010 (තුන් වන මුද්‍රණය)


මෙය 1984 රාජ්‍ය සම්මානය හිමි වූ නවකතාවයි.  මේ කතාව 1945-58 කාලයට අයිති යැයි සිතිය හැක. (කතාව අවසන් වන්නේ ඇඹිලි පිටියේ චන්ද්‍රිකා වැව සාදා නිම වූ පසුව ය.) 


[චන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරය 1956 දී පිහිටු වන ලද එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ රජය මඟින් ආරම්භ කළ පළමුවන වාරිමාර්ග ව්‍යාපෘතියයි. එය 1958 දී ආරම්භ කරන ලද්දේ වලවේ ගංඟාවේ දකුණු ඉවුරු අතු ගංගාවක් වු හුලංදා ඔය හල්මිල්ලකැටිය නම් ප්‍රදේශයේදී හරස්කර වේල්ලක් බැදීමෙනි. මෙලෙස ආරම්භ කළ චන්ද්‍රිකා වැව, වාරිමාර්ග ව්‍යාපෘතියක් බවට පත්වූයේ ඇළමාර්ග සංවර්ධනය කරමින් ගොවිජනපදයක් පිහිටුවිම හරහාය. එමගින් අක්කර 5000ක භූමි භාගයක් තුළ ගොවීන් 1800ක් පදිංචි කිරිම සිදු විය. — විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්]


බණ්ඩාරගම විසූ මව් පිය නැතිවීමෙන් අසරණ වූ අක්කා-මලෝ දරුවන් දෙදෙනෙක් ඔහුගේ මහප්පා විසින් ඇඹිලි පිටියට එහා කැලෑව මැද්දේ ඇති වලවේ ගංග අසබඩ ගම්මානයකට කැඳවා ගෙන යන ලදි.  මේ ගම්වල මිනිසුන් ගේ ප්‍රධාන ජීවනෝපාය මී හරකුන් ඇති කිරීම හා හේන් වැඩ කිරීමයි.  වැසි වැටෙනා කාලයට (මාර්තු - අප්‍රේල්) වැසි වැටුනොත් හා වැව් පිරී ගියොත් කුඹුරු වැඩ ද කෙරේ.  මේ දුශ්කර පලාතේ මිනිසුන් කැලෑ උණ හා පරංගි රෝගයෙන් ද පෙලෙන බොහෝ විට යාන්තමින් පණ නල රැක ගෙන ඉන්න වුන්ය.  කෑම හිඟ කමින් ලමයින් ලොකු බඩගෙඩි ඇති උන් ය.  මෙන්න මේ දුශ්කර පලාතේ අක්කා-මලෝ ගේ ජීවිතය දිග හැරෙන හැටි මේ කතාවෙන් කියැවේ.


ඉතාම විස්වාශවන්තව කියවන්නා මෙම පරිසරයට ගෙන යන්නට කතුවරයා සමත් වෙයි.  කතාව කියවන අතර තුර මෙම පරිසරය හිතෙන් මවා ගන්නටත්, එමගින් හිතෙන් එම පරිසරයේ ජීවත් වෙන්නටත් හැකි වීම කතුවරයා ගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.  කතුවරයා ඒ පලාතේ භාෂා විලාසයක් කියවන්නගේ ඇඟේ ගසන්නේ නැත.  කතාව කාටත් තේරෙන භාෂාවෙන්, සැහැල්ලු වචන යොදා හරි අගේට ලියා ඇත.


පොතේ පසු පිටෙහි මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා මෙසේ කියා ඇත.

“ඇරැව්වල නන්දිමිත්‍ර ගේ "මිහි සරණ" නමැති අලුත් ම නවකතාව, ඔහු කෙරෙහි පාඨකයන් තැබූ හැම අපේක්ෂාවක් ම මුදුන් පමුණුවන්නක් බව පවසනු කැමැත්තෙමි.  "මිහි සරණ" ජීවිතයේ අමුතු ක්ෂේත්‍රයක් පිළිබඳ අත්දැකීමක් අපට ගෙන දෙයි.  එහි නිරූපණය වන්නේ, ස්වභාව ධර්මයා සමඟ මාරක සටනක යෙදී පණනල ගැටගසා ගැනීමට තැත් කරන්නවුන් ගේ කටුක ජීවිත ය.  මේ කතාවේ කිසිදු ව්‍යාජත්වයක් නැති බව කියනු කැමැත්තෙමි."


සරච්චන්ද්‍ර මහතා කියමන හරියටම හරි ය.  කාලෙකින් හොඳටම රස විඳින්නට හැකි වූ නවකතාවක් බව කිව හැක.  

No comments:

Post a Comment