Thursday, May 27, 2021

මෝනාලීසාට රැවුලක්

කතෘ: එරික් ඉලයප්ආරච්චි
ප්‍රකාශක: ගොඩගේ 2015


මෙය කෙටිකතා 10 කින් සමන්විත කෙටිකතා පොතකි.  


මෙහි පලමුවන කථාව රාජගිරිගේ වසන කපුරාල කෙනෙක් ගැනයි.  ඔහු විශ්ව විද්‍යාලයේ සිටියදී "වාමාංශික විශ්ව විද්‍යාල දේශපාලනයේ" නායකයෙකි.  මාදන්නා  බොහෝ හිට්ස්පු විශ්ව විද්‍යාල දේශපාලන නායකයින් මෙන්ම මොහුද දේශපාලනයෙන් ඉවත්ව සිටී.  කපුකම රැකියාව ලෙස කලද ඔහු තමා තවමත් වාමාංශිකයෙකු යැයි සිතයි.  උසස් නිලධාරීන්, ධනවතුන් හා දේශපාලකයින් ඔහුගේ සරණ නිතර පතයි.  මෙම හිටපු විශ්ව විද්‍යාල වාමාංශික නායකයා කපු කම තුලින් රස්සාව අතහැර ජීවත්වීමට තරම් ධනවතෙකු වී සිටියි.  මේ කතාව ලංකාවටම ආවේනික වූ කතාවකි.


දරකඩේ ගණිකාව" නම් වූ දෙවන කථාව මීගමුවේ සුළු රැකියා කොට ජීවත් වන දෙමල තරුණයෙකුගේ ජීවිතයේ යථාර්ථය හෙලි කරයි.  83 කෝලාහල කාලයේදී ජීවිතයට හානියක් නොවූ මුත්, සමාජයේ කුරිරු කමින් ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කොට ඇත.


"මෝනාලිසාට රැවුලක්" යනුවෙන් අදහස් වන්නේ උසස් කලා කෘතියක් අගයන්නට නොහැකියාව පමනක් නොව, එහි රැවුලක් ඇඳීමෙන් කලා කෘතිය විනාශ කිරීම මගින් කලාකෘතිය අගය කරන්නන්ටත් එය අහිමි කිරීම බව මගේ අර්ථ නිරූපණයයි.  ලංකාවේ හරි ඉහලින් ජනප්‍රිය වී ඇති Facebook හී දිග හැරෙන තවත් සත්‍යය විකෘති කිරීමකි මේ කතාව තුලින් හෙලි වෙන්නේ.


ලංකාවේ ඇති ආගම් හා සිරිත් විරිත් අතර ඝට්ඨනය ටියුශන් පංති පවත්වන්නෙකුට විඳින්නට සිදුවන අන්දම “කළු ටියුටරිය” කථාවෙන් හෙලි වේ.


හිතූ අතේ යමින් නිදහසේ ගතකල අයෙකුගේ නිදහස වුවත් වැරදි තැන වැරදි වේලාවක සිටීම නිසා නැති වෙන්න පුළුවන් බව "හොරු සමඟ" කතාවෙන් හෙලි වේ.


"සිංහයා සරුංගලය" සරුංගලයක් උඩයැවීමත් සංචාරක ව්‍යාපාරය නිසා වානිජකරණය වී ඇති අන්දම හෙලි කරයි.  එහෙත් සුද්දා සරුංගලයට ගෙව්වාට එය රැගෙන යාමට ඔහුට අවශ්‍ය නැත.


“මව්බිමේ මරණයක්” තුලින් අසූවේ අග තිබූ ජවිපෙ කැරැල්ල කාලයේ දී ලංකාවෙන් පිටවී ගිය අයෙකු නැවත ලංකාවට ඒමට සැරසීමේදී මුහුන පාන්නට වන අපූරු සිදුවීමක් හෙලි කරයි.


ලංකාවේ ඉතා ශීග්‍රයෙන් සිදුවන පරිසර වෙනස් වීම තුල එම වෙනස්වීමෙන් වෙනස් නොවූ මිනිසෙකුගේ කථාවකි "දේවසිරිගෙ භාවනාව".  මෙය මම ඉන්දියාවෙදී දුටු වාහන නිතර එහා මෙහා ගිය මහපාර මැද නිදා සිටි රිශි වරයකු මතක් කරවයි.  වාහන ඔහු දෙපැත්තෙන් ඉතා වේගයෙන් හඹා ගිය අතර රියදුරන්වත්, පදිකයන්වත්, පොලිසියවත් පාර මැද නිදියන මිනිසා ඉවත් කිරීමට ඉදිරිපත් නොවීය.  ලෝකයා ඔහු වටා යමින් තම ගමන වෙනස් කර ගත්හ.


ආණ්ඩු පෙරලියක් සිදුවූ දා පාරට පැමිණි අමාත්‍යාශකයක ලේකම් වරයා ගේ "තේජස් වාහනයට" ගල්පහරක් වැදින.  කොළඹ නගර වටා ඉබාගාතේ යන ඔහුට පැරනි හිතවතියක් හමු විය.  පැරනි හිතවතිය වාහනයේ කළුකරපු වීදුරුවේ ගල් පහරින් ඇතිවූ හිල දකී.  ඇය අළුත් ආණ්ඩුවට සහයෝගය පල කරයි.  ඉබාගාතේ ඔවුහු අතීත ආවර්ජනයක යෙදේ.  වාහනයට දෙවන ගල්පහරක් වදිද්දී දෙදෙනා අතීතය හා අනාගතය එකතු කිරීමට දෝ සැරසෙයි.  මෙම කතාව "ටැංගො නැටුම" යි.


පිටිසර බද ඩිස්පෙන්සරියක් බොහෝ කලක් සේවයකල දොස්තර මහතා ඩිස්පෙන්සරියෙන් සමුගන්නේ හෙටය.  ඔහුගේ බඩුමුට්ටු අසුරා අවසානය.  ඩිපෙන්සරියේ වහලේ ජීවත් වූ "අටු බස්සා" ට දොස්තර මෙන් විශ්‍රාම ගිය හැකිද?  මෙම රසවත් කතාව මේ මහැඟි පොතේ අවසාන කතාවයි.


සුසිත රුවන් ගේ රාවණා මෙහෙයුමේ ඇති බහුබූත තර්කයන් කියවන අතර උරණ වූ සිත සන්සුන් කර ගත්තේ මේ පොතෙහි ඇති කෙටි කතාව බැගින් කියවමිනි.  රවීන්ද්‍ර වීරපිටියගේ අගැයීම නිසා ගොඩගේ එකට ගොඩවූ වේලාවක ගත් එරික්ගේ කෙටිකතා පොත් ගොන්නේ එකකි මෙය.  


එරික් සත්‍යවශයෙන්ම අග්‍රගණයේ කලාකරුවෙකි.  

No comments:

Post a Comment