Wednesday, May 26, 2021

ගමනක අග

කතෘ: ගුණදාස අමරසේකර 
ප්‍රකාශක: විසිදුනු


බොරැල්ලෙ ඩිපෝව තිබුනෙ කොටාරෝඩ් ස්ටේශමේ ඉඳල පෙනෙන දුරින් රොඩ්නි ප්ලේස් එකට යාබදව. මේක ජනසතුවට කලින් අයිති වෙලා තිබුනෙ බී.ජේ. ප්‍රනාන්දුටයි. 1965 බලයට ආපු ඩඩ්ලිගෙ ආන්ඩුව බොරැල්ලෙ ඩිපෝව තලංගමට ගෙනිච්ච නිසා බොරැල්ලෙ ඩිපෝව තිබුන ඉඩම බී.ජේ. ප්‍රනාන්දුට ආපහු ලැබුන. බී. ජේ. ප්‍රනාන්දුත් මෙම ඉඩම කොටස්වලට කඩල එයාටත් කොටසක් තියාගෙන ඉක්මනට වික්කා. පර්චස් 15 කෑලි ගියේ රුපියල් 50,000 ට; පර්චස් 25 කෑලි ගියේ රුපියල් 75,000 ට.  


සිරිපාල ගත්තෙ මෙම ඉඩමෙන් කොටසක්. නමුත් ඔහු අරගත්තෙ සිරිමාවෝ බලයට ආවට පස්සෙ. නිසා සිරිපාලගෙ ඉඩම බී.ජේ. ප්‍රනාන්දු තියාගත්තු කෑල්ලෙ කොටසක් වෙන්න ඕන. ගමනක මැද සිරිමාවෝගෙ ආන්ඩුව කාලෙ දිග ඇරුනෙ.


මම හිතුවෙ ගමනක අග ඊලඟ පොත කියලයි. නමුත් පොත කියවන්න පටන්ගන්න කොටම මට දැනුන අතරමං වෙලා වගේ.  අතරමඟ නමැති ඊලඟ පොත මට මග හැරිල. නමුත් ගමනක මැදදි වගේ චරිත ගොඩක් මෙම කතාවෙ නැති නිසා නැවත නැවත මින්පෙර කොටස් වලට යන්න වුවමනා වූයේ නැහැ. (මම හිතන්නේ සෑම පොතකදීම චරිත නැවත හඳුන්වලා දෙනවානම් මෙම අපහසුව මග ඇරෙනව. මේක මේ පොත් පෙලේ තියන අඩුපාඩුවක්.)


සිරිපාල ඇමරිකාවෙ ඉඳන් හවායි වල  East-West Center එකට එනව බෞද්ධ රාජ්‍යයන් ගැන පරීක්ෂණ කටයුතු වලට. හවායි ඇමරිකාවේ තවත් ප්‍රාන්තයක් ලෙස හැඳින්වීමට අමරසේකර කැමති නැතුව වගේ. University of Hawaii වල හිටපු ආචාර්ය කළුපහනගෙ වැඩ ගැනත් අමරසේකර විවේචනය කරනව. ඔහු කළුපහන හඳුන්වන්නේ කළු ආරච්ච් නමැති අන්වර්ත නමකින්.  අනෙත් හැම කෙනෙකුගෙම හරිනම පාවිච්චි කරන අමරසේකර කළුපහනට පමනක් මෙසේ කරන්නේ ඇයිද යන්න ප්‍රෙහේලිකාවක්.


ගමනක අගදි පියදාසත් සුජාතාත් නේපාලයට, ලුම්බිනියට, සියමට හා ඕස්ට්‍රේලියාවට යනව. මේ සෑම තැනකදීම බෞද්ධයන් ලෙස ඔවුන්ගේ හැසිරීම කතාබහ අමරසේකර ඉතා දක්ෂ ලෙස කතාවේ වියා තිබෙනවා. අමරසේකර දක්ෂයා කියල අයෙ කියන්න ඕනය. සුජාතාට අත්වූ ඉරනම ගැන කියවන කොටනම් ඇස්වල ඇති දියර ප්‍රමානය ටිකක් වැඩිවුනා කියල හැඟුන.


අමරසේකර මෙහිදී හඳුන්වාදෙන වියතුන්ගේ පොත් කියවීමේ ආසාවකුත් ඇතිවුනා.  Trevor Ling, David Higgins, ajahn buddhadasa, Nagarjuna, Erich Fromm ඒ කීපදෙනෙක්.


“ඕනෑ ආගමක් කාලානූරූප අර්ථකථනය කරන්නෙ නැත්නම් අභාවයට යනව. වෙනස් වන විශ්ව ඥානය විසින් නිසරු දේ ලෙස පෙන්වනු ලබන කොටස් බැහැර කර සරු දේ අවධාරණය කිරීම හැම ආගමක පැවැත්මට අවශ්‍යයි.” (72 වන පිටුව) මෙම කියමන අජාන් බුද්ධදාසගේ.


Erich Fromm ගෙ The Sane Society කියවපු සියලු දෙනාම (30 දෙනෙක්) තරු පහ ගනනේ දීල තියනව Amazon වල.


ගමනක මැදට වඩා ගමනක අග කියවද්දි මට සතුටක් දැනුනා. 


Ps.

මා දන්නා බොහොම දෙනෙක් (මා ද ඇතුලුව) මෙම පොතෙහි ඇති කාල සීමාවේදී නිති පතා ලංකාවේ සිදුවීම් ගැන නිතර අවධානයෙන් සිටියෝය.  සමහර විට අප ලංකාවේ සාමාන්‍ය වැසියෙකුට වඩා ලංකාවේ වෙන දේ ගැන දැනුමක් ඇතිව සිටිබව මට තේරුම් ගියේය.  1987 පමන සිට 1994 පමන දක්වා අප e-mail (list-serve), USENET newsgroups මගින් තොරතුරු ලබා ගත්හ.  අපට මේ තොරතුරු ලෝකයේ සෑම අතින්ම ලැබින.  ක්‍රිකට් තොරතුරු ලබා ගැනීම සඳහා අපි rec.sports.cricket newsgroup එක නිති පතා කියවූහ.  සමහර ඉන්දියානුන් (ඉන්දියානුන් නැති රටක් නැත) match වල scores ඕවර් එකෙන් ඕවර් එකට newsgroup එකේ සටහන් කලෝය.  මේ newsgroup එකෙන් හඳුනාගත් අය මුදල් එකතු කොට server එකක් අරගෙන cricinfo නමින් සේවාවක් පටන් ගත්තේය.  (දැන් මෙම සේවාව වැඩි දියුනු වී ESPN සමාගම සතුව ඇත.)


List-serve මගින් තොරතුරු හුවමාරු කරගත් ලංකාවෙ අය ඉන් පසුව soc.culture.sri-lanka නමින්  USENET newsgroup එකක් පටන් ගත්හ.  වැඩි කලක් යෑමට පෙර රටේ පැවති යුද්ධයට අමතරව online යුද්ධයක් පටන් ගත්තේය.  එක් පාඨකයෙක් American Tiger යන අන්වර්ත නාමයෙන් ප්රකෝපකාරී සටහන් තබන්නට පටන් ගත්තේය. එවිට American Tiger Killer යන නාමය ආරූඪ කරගත් තවෙකෙක් ඊට පිලිතුරු සපයන්නට පටන් ගත්තේය.


Internet හා www පැමිනීමත් සමගම (1995 සිට පමන) soc.culture.sri-lanka හී ආකර්ශනය අඩු වී ගියේය.  2006 පමන සිට යුද්ධය ගැන පෙරමුනේ සිටම වාර්තා කරන blog තිබින.  දිනපතා, සමහරවිට දවසකට දෙතුන් වතාවක්, අපට අලුත්ම තොරතුරු ලැබින.  මෙම  blog කියවන අය අතර වාග් සංග්‍රාමය ඇතිවීමට වැඩි කලක් ගියේ නැත.  සමහර අන්වර්ත නාම වලින් ලියූ අය තවමත් එම නම් ම පාවිච්චි කරමින් වාර්තා ලියයි.  (සොයන්නෙකුට මෙම වාර්තා ඉතා ලෙහෙසියෙන් කියවිය හැක.)


No comments:

Post a Comment