Monday, May 24, 2021

Four Books on Sri Lankan War 1978 - 2009

"නෑ හලෝ, මෙන්න මෙහෙමයි ඕක වුනේ. ඕක මට කිව්වෙ මගේ පංතියෙ ඉඳල හමුදාවට බැඳිච්ච මෙන්න මෙයා."  මෙවැනි කතා ලංකාවේදී අහන්නට ලැබෙනවා.  මේවා (අද්භූත) මනස්ගාත බව පලපුරුද්දෙන් දන්නා නිසා මේ කතා දෙස උපෙක්ෂාවෙන් බැලීමටත්, මේවා කියන්නන් මගේ හොඳම යහලුවන් නිසා මේවා නිෂ්ශබ්දව අසා සිටීමත් මගේ පුරුද්දයි.  මොවුන් සැවොම ඉහලට ඉගෙනගත් ලොකු රැකියා කරන්නන් මුත් මොවුන්ගේ දක්ශතාවෙන් පිට යමක් පරීක්ශාකාරී ලෙස කියවීමට කිසිම වේලාවක් ඉතුරු කර ගෙන නැති නිසා මෙවැනි මනස්ගාත විමසීමකින් තොරව පිලිගැනීම සිදු කරතියි සිතමි.


තිස් අවුරුදු යුද්ධය ගැන පොත් හතරක් එකවර කියෙව්වෙමි.  මෙම පොත් හතරම "මතක සටහන්" (Memoirs) ගනයට අයත්වන ඒවාය.  මේ කියවීම තුලින් මෙම පොත් වල සඳහන් සමහර එකම සිද්ධි ගැන සංසන්දනාතිමකව බලා එම සිද්ධීන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම කියවීමට අමතරව මගේ තවත් අරමුනක් විය.


පළවන පොත: රණමඟ ඔස්සේ නන්දිකඩාල් (RON)

කතෘ: මේජර් ජෙනරල් කමල් ගුණරත්න


දෙවන පොත: අධිෂ්ඨානය (A)

කතෘ: ඇඩ්මිරල් වසන්ත කරන්නාගොඩ


තුන්වන පොත: තියුණු අසිපතක සෙවණ යට (TASY)

කතෘ: තමිළිනී ජෙයක්කුමාරන්


හතරවන පොත: Gota’s War (GW)

කතෘ: C. A. Chandraprema


මෙම පොත් හතර පිලිවෙලින් RON, A, TASY, GW යන නම් වලින් ඉදිරියට හඳුන්වනු ලැබේ.  සිද්ධීන් ස්වල්පයක් ගැන කෙටියෙන් මෙහි සඳහන් කරමි.


(1) මාන්කුලම් කඳවුර හැර පසුබැසීම — නොවැම්බර් 23, 1990

කඳවුර භාරව සිටියේ කැප්ටන් ලලිත් දවුලාගල ය.  (GW හි ඔහු මේජර් දවුලාගල ලෙස හඳුන් වන මුත් මෙය නිවැරිදියයි නොසිතමි.) ඔහුගේ සහායට සිටියේ කැප්ටන් කමල් ගුණරත්න යි. දින කිහිපයක් තිස්සේ පැවති මෙම පසුබැසීමෙහිදී කැප්ටන් කමල් ගුණරත්න එහි නායකත්වය දැරීය.  කැප්ටන් කමල් ගුණරත්න මෙම පසුබැසීම අතර ඇසුනු මුල්ම හෙලිකොප්ටර් ශබ්දයෙන් පසුව එම හෙලිකොප්ටරය සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට උත්සාහ ගත් මුත් ඔහුගේ පණිවිඩයට පිලිතුරු දී ඇත්තේ LTTE සාමාජිකයෙකි.  GW හි මෙම හෙලිකොප්ටර් නියමුවාගේ නමත් ඇතුලව ඔහු කී කතාව “A Hundred Mirrors” නමැති පරිච්චෙදයෙන් කියවිය හැක. 

He saw what looks like a hundred mirrors flashing at him from the jungle.  “Later” he found that these were not mirrors but ration tins that the solders were flashing in the sunlight to attract his attention.


කැප්ටන් කමල් ගුණරත්න විසින් හෙලිකොප්ටර් නියමුවාගේ අවධානය ලබා ගැනීම පිනිස මෙවැනි සංවිධානාත්මක ක්‍රියාවක් කල බව RON හි සඳහන් ව නැත. RON  හි සඳහන් වන අන්දමට මුල් හෙලිකොප්ටර් ශබ්දය ඇසුනේ 24 දා 5:30 AM සහ 10:30 AM අතර ය.  කැප්ටන් කමල් ගුණරත්නට ඊලඟ හෙලිකොප්ටරයේ හඬ ඇසුනේ ඊට පසුදා (25 දා) උදේ 9 යට පමන ය.  මෙම හෙලිකොප්ටරයේ ඔහු හඳුනන හමුදා අංශයේ නිලධාරියෙකු විය.  මුල් හෙලිකොප්ටරයේ නියමුවාගේ නමවත් RON හි සඳහන් ව නැත.


සමහර විට මුල් හෙලිකොප්ටරයේ නියමුවා පසු බසින හමුදා නිරීක්ෂනය කරන්නට ඇතැයි සිතිය හැක. ඔහු විසින් මේ පිලිබඳව වව්නියා හමුදා මූලස්තානයට දන්වන්නට ඇතැයි ද සිතිය හැක. එහෙත් “A Hundred Mirrors” ඔහු විසින් නිර්මානය කල අතිශ්‍යෝක්තියක් බව මාගේ හැඟීමයි.


(2) පූනරින් කඳවුරට එල්ල වූ ප්‍රහාරය — නොවැම්බර් 10, 1993

මෙම කඳවුරෙහි තිබූ බල ඇනි දෙකකින් එකක් වන 3 ගජබා බලඇනිය භාරව සිටියේ මේජර් ලලිත් දිවුලාගල යි. (මේ මාන්කුලම් කඳවුර 1990 දී භාරව සිටි කැප්ටන් දිවුලාගල මය.)   කොටින් විසින් පූනරින් කඳවුරෙහි ආකෘතියක් තනා  අවුරුද්දක් පුරා මෙම සටනට සංවිධානය වූහ.  ඔවුන් විසින් කඳවුර තුලට නිතර නිතර ඔත්තුකරුවන් රිංගවා කඳවුර පිලිබඳව මනා අවබෝධයකින් උන්හ.  පොට්ටු අම්මාන්ගේ නායකත්වයෙන් යුතු කොටි 5000 ක පමන හමුදාවක් මෙම සටනට සහභාගි වූහ. තමිලිනී ද මෙම හමුදාව අතර විය (TASY).  මෙම ක්‍රියාන්විතය "ඔපරේෂන් තවලෛ" යනුවෙන් කොටින් විසින් නම් තබන ලදි.


මේජර් ලලිත් දිවුලාගල නිවාඩු ගොස් සිටි අතර ඔහුගේ දෙවන අන දෙන නිලධාරී මේජර් යූ. ඩී. ජී. හේමපාල මෙම සටනේ දී මිය ගියේය (RON).  කොටින් කඳවුරේ තිබූ යුධ ටැංකි දෙකම අත්පත් කර ගත්හ (GW).  කොටින් මෙම යුද ටැංකි දෙක තවමත් අත්පත් කර ගත නොහැකි වූ මේජර් රංජිත් සිල්වා නායකත්වය දුන් ශ්‍රී ලංකා පාබල බලඇනියේ 1 වන බල ඇනිය සිටි කොටසට ප්‍රහාර එල්ලකිරීමට යොදා නොගෙන වන්නියට ගෙන යාමට කටයුතු කලහ (RON).  සටනට සහභාගී වූ ගුවන් හමුදා ප්‍රහාරයකින් එක් ටැංකියක් ක්‍රියා විරහිත වූ නමුත් කොටි අනෙක ගෙන ගියහ (RON).  එම ටැංකිය පදවාගෙන ගියේ සුසීලන් නැමැත්තා විසිනි (TASY).  


දින දෙකක් තිස්සේ පැවති මෙම සටන අවසාන වන විට හමුදා සෙබලුන් හා නිලධාරීන් 500 ක් පමණ මරණයට පත්ව හෝ අතුරුදහන් වී සිටියහ.  නාවික සෙබලුන් හා නිලධාරීන් 100 ක් පමණ මරණයට පත්ව හෝ අතුරුදහන් වී සිටියහ. රුපියල් මිලියන 50 කට වඩා අධික යුද්ධ හමුදා දේපල යුද හමුදාවට අහිමි විය (RON). 


සිදුවූ විනාශය අධික වුවද කඳවුර ත්‍රස්තවාදීන් අතට පත් වීමට ඉඩනොදී රැකගත් නිසා 1 වන පාබළඇණියේ අණදෙන නිලධාරී මේජරි රංජිත් සිල්වා ලුතිනන් කර්නල් තනතුරට කේෂ්ත්‍රයේ උසස් වීමක් ලැබින (GW).  (මෙම තනතුරු පටලැවීමක් RON හී දකින්නට ඇතත්, RON හිදීද මුලින් රංජිත් සිල්වාගේ තනතුර මේජර් ලෙසින් දක්වා ඇති බැවින්, මෙය මේජර් ජෙනරල් කමල් ගුණරත්න අතින් සිදුවූ සුලු අතපසු වීමක් ලෙස සැලකිය හැක. (RON හී 365 සහ 370 පිටු බලන්න.)


පන්සීයකට වඩා ප්‍රමානයක් කොටින් මරණයට පත්වූ අතර තමිල් සෙල්වම්, සෝර්ණම් ඇතුලු කොටි දහසකට වඩා තුවාල ලැබූහ (TASY).


(3) නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ සේවය.

කොටින් සහමුලින්ම පැරදවූ යුධ හමුදාවට අනෙත් හමුදා දෙකෙන් ලැබුනු සහය නොතිබෙන්නට කොටි සමග සටනට යුධ හමුදාවක් උතුරේ නොතිබෙන්නට ඉඩ තිබින.  යාපනයේ සිටි හමුදාවන්ට සැපයුම් කලේ මෙම හමුදා දෙකයි. ඊට අමතරව භටයින්ගේ ගමනාගමනයද කෙරුනේ නැව් වලින් හා ගුවන් මගිනි (RON, A, TSAY, GW). 


නාවික හමුදාව මගින් දුර දිග මෙගෙයුම් මගින් කොටින්ට ආයුධ රැගෙන පැමිනි සියලුම් නැවි විනාශ කරන ලදි. මේ නිසා අවසාන සටනේදී කොටින්ට පෙර රැස්කර ගෙන තිබුනු ආයුධ වලින් පමනක් සටන ගෙන යාමට සිදුවිය.  මෙය කොටින්ට බලවත් පහරක් විය (A, TASY).  ගුවන් හමුදාව මගින් කෙරුනු ගුවන් ප්‍රහාර කොටින්ට විශාල බලපෑමක් එල්ල කලේය. ඝන කැලෑවල ඉතාමත් දියුණු වෙස් ගැන්වීම් සහිතව පවතින රහස් කඳවුරු මතට පවා එල්ල කළ ප්‍රහාර කොටි සංවිධානය තුල මහත් විපත්තියක් ඇති කිරීමට සමත් විය (TASY).  


කිලිනොච්චි නගර මධ්‍යයේ තිබූ තිබූ තමිල් සෙල්වම්ගේ නිවස තෝරා බේරාගෙන එම නිවසටම ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා තමිල් සෙලිවම් මිය ගියේය. මෙය කොටින්ට තදබල පාඩුවක් විය.  (RON).  


(4) දිගුදුර විහිදුම් බලකාය

දිගුදුර විහිදුම් බලකායේ සෙබලුන් විසින් ත්‍රස්තවාදී පාලන ප්‍රදේශ තුල මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමත් ඒ අනුව එම ප්‍රදේශ තුළද ත්‍රස්තවාදීන් තුළ මරබිය මෙන්ම කුමන මොහොතේ ප්‍රහාරයක් එල්ල වේදෝ යන දෙගිඩියාවෙන් සිටින මානසිකත්වයක් ඇතිකිරීමටත් සමත් විය (RON).  මන්නාරමේ සටන් පවතින කාලයේ පුදුකුඩුයිරුප්පු කැලෑ ප්‍රදේශයේ දිගුදුර විහිදුම් බලකායේ සලකුණු කොටින් විසින් හඳුනා ගැනින. එම කාල වකවානුව තුළ මෙම කරුණු සංවිධානයේ අභ්‍යන්තර කවය තුළ මහත් කම්පනයක් ඇති කිරීමට හේතු විය. දිගුදුර විහිදුම් බලකායේ තර්ජනාත්මක ක්‍රියාමාර්ග හේතුවෙන් සංවිධානයේ පාලන ප්‍රදේශය තුලද ආරක්ෂාව ගැන අවධානයක් යොමු කිරීමට කොටින්ට සිදුවිය. එහෙත් දිගුදුර විහිදුම් බලකායේ මෙහෙයුම් පාලනය කිරීමට කොටින්ට හැකිවූයේ නැත. සංවිධානය ඇස ගසා ගෙන සිටින ස්ථාන් අතහැර වෙනත් වැදගත් ස්ථාන වල දිගුදුර විහිදුම් බලකාය තම හැකියාවන් පෙන්වා විස්මිත ප්‍රහාර එල්ල කලහ (TASY).


(5) කරැණා

පොත් හතරෙහිම කතෘවරු කරුණා කොටින් ගෙන් වෙන්වීම යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සලකයි.  එහෙත් ඔවුන් ඉදිරිපත් කරන් කරුනු ප්‍රමානවත් මදි බව මගේ හැඟීමයි.  කරුණා පොතක් ලියන්නට අදහස් කලොත් මෙම හිඩැස් වසා ගැනීමට හැකිවීමට පුළුවන.


No comments:

Post a Comment