Monday, May 24, 2021

අත්තාණි කණු

කතෘ: සේපාලි මායාදුන්නේ

ප්‍රකාශක: ගොඩගේ 2017


මම සේපාලි ගේ පොතක් කියවූ මුල්ම වතාව මෙයයි.  ඇය විසින් රචිත මහාසාමි නැමැති පොත මා ලඟ ඇති මුත් එය තවම කියවා නැත.  මෙවර (අගෝස්තු 2 න් පසුව) ලැබුණු සහ මිලට ගත් පොත් සියල්ලම කියවා අහවර කිරීමට සිතාගත් බැවින් මෙය මහාසාමිට කලින් කියැවින. 


කතාව පටන් ගන්නේ 1798 දී පමණ වන අතර කතාව අවසන් වන්නේ 1860 දී පමණ ය.  (පසුවදන අපව අනාගතය කරා එක්කන් එයි.)  වන්නිහත්පත්තුවේ නුවර කලාවියේ ජීවත් වූ ජීවිත වටා මෙම කතාව ගෙතී ඇත.  මෙහි පිය/පුතු ප්‍රධාන චරිත දෙකක් වන අතර පියාගේ කතාව පළවැනි වෙළුම ලෙසද පුතාගේ කතාව දෙවන වෙළුම ලෙසද හැඳින් වේ.  කතාව ගෙතී ඇති භාෂාව වන්නිහත්පත්තුවේ ඒ කාලේ තිබූ භාශාවයි. (කතුවරිය මේ පිළිබඳව හදාරා ඇතැයි සිතමි.  කිසිවෙකු හෝ මෙම භාෂාව වන්නිහත්පත්තුවේ භාෂාව කියා උඹ දන්නේ කෙසේදැයි ඇසුවොතින්නම් මට පිළිතුරු නැත.)


සූරිය කුමාර වන්නිසිංහ සත්පත්තු බණ්ඩාර මහ බණ්ඩාර මුදියන්සේ බුලංකුලම මහ වන්නි උන්නාන්සේ වන්නි හත්පත්තුවේ නායකයා පමණක් නොව, ජය සිරි මහ බෝධීන් වහන්සේගේ භාරකාරයාද වන අතර, වන්නි හත්පත්තුවෙන් රාජ වාසලට යැවිය යුතු පඬුරු පාක්කුඩම් එක් රැසිකරන්නා ද වේ.  ඊට අමතරව සටනකදී වන්නි හත්පතුවෙන් යවන සේනාවේ නායකයාද වෙයි.  ඔහු 1803 දී කන්ද උඩරට ඉංග්‍රීසි ආක්‍රමණයට විරුද්ධවත් 1818 කැරැල්ලටත් සහභාගී විය.


සූරිය කුමාර වන්නිසිංහ සත්පත්තු බණ්ඩාර කුමාරසිංහ බණ්ඩා බුලංකුලම මහ වන්නි උන්නාන්සේ පියාගෙන් අනතුරුව වන්නි හත්පත්තුවේ නායකයා වුවද ඉංග්‍රීසි පාලනය යටතේ ඔහුගේ පියාට තිබූ සියලු බලතල නැති වී යයි.


මෙන්න මේ කතවයි අත්තාණි කණු කතාව.  සේපාලී කියනා පරිදි අත්තාණි කණු යන්නෙහි තේරුම මෙසේය.  "රාජ සම්මතයෙන් පරිහර දීමේ බලය හෝ විශේෂ වරප්‍රසාද, විශේෂ අයිතිවාසිකම්, ලාභ ප්‍රයෝජන, ගුරු බුහුමන් ආදිය සම්බන්ධ ව සඳහන් ටැම් සෙල්ලිපිවලට වැවස්ථා පහන්, සංවතා පහන් හෙවත් අත්තාණි කණු යයි කියැවෙයි."


මෙය නව කතාවකට වඩා ඉතිහාස කතාවක ස්වරූපය ගනී.  මේ කතාවේ ලියා ඇති ඉතිහාසය බොහෝදුරට විශ්වාස කල හැකි යැයි සිතෙන මුත් සේපාලී ඇයගේ මූලාශ්‍ර සඳහන් කර නොමැති නිසා එයට වඩා යමක් කිව නොහැක.  එහෙත් මේ ළඟදී කියවලා දැනගන්නට යෙදුණු එලංගා ගැන සටහනක් වත් පොතෙහි නැත.  රටේ අගනුවර අනුරාධපුරයෙන් පොලොන්නරුවට ගෙන යාමට හේතුව සඳහා ප්‍රචලිත හේතුව ඈ ඒ සැටියෙන්ම ප්‍රකාශ කරයි.  එහෙත් එම හේතුවට වඩා විශ්වාස කල හැකි හේතුවක් රාජ් සෝමදේව මහතා ඔහුගේ ආදි ඉතිහාසයෙහි සඳහන් කොට ඇත.  (මේ මතය මුලින්ම ඉදිරිපත් කලේ පරණවිතාන මහතා බව සෝමදෙව මහතා සඳහන් කරයි.)


සමස්තයක් වශයෙන් ගත්කල මීට කලින් කියවා තිබූ සෑම සිංහල නවකතාවකට වඩා වෙනස් ය.  (මා එතරම් සිංහල නවකතා කියවා නොමැති බැවින් මෙය අරුමයක් නොවීමටද ඉඩ ඇත.) 

No comments:

Post a Comment